Posted on 01.17.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අඟුණකොළපැලැස්ස රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියන් විසින් බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව විරෝධතා පැවැත්වීම පිළිබද පලිගැනීමක් වශයෙන් බන්ධනාගාර නිලධාරින් විසින් රැදවියන් පිරිසකට වධහිංසා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල වෙතත් පැමිණිලි කර තිබේ.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව වෙනුවෙන් එම කමිටුවේ නීතිඥ සේනක පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බව ඊයේ(16) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
ඔවුන් විසින් චෝදනා කරන්නේ නිලධාරින් 20ට අධික පිරිසක් බන්ධනාගාර පරිශ්‍රයෙහිදී රැදවියන් වෙන්කරවා පොලු මුගුරු මගින් පහරදීමක් සිදුකර ඇති බවයි. එම පහරදීමට අදාළව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂක කැමරා දර්ශන අඩංගු සංයුක්ත තැටියක් එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදින් වෙත ප්‍රදර්ශනය කෙරිණි.
මෙම ප්‍රහාරයට බන්ධනාගාර අඟුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරිවරයාත් ජේලර්වරුන් හා නියාමකරුවන් පිරිසක් සෘජුවම සම්බන්ධ යැයි චෝදනා කළ නීතිඥ සේනක පෙරේරා මේ ගැන රජය විධිමත් හා ස්වාධීන පරීක්ෂණයක් කළ යුතු යැයි අවධාරණය කළේය.
ඔහු පවසන්නේ බන්ධනාගාර රැදවියන් බැලීමට එන ඥාතින් සහ හිතවතුන් පොලිස් විශේෂ කාර්යබළකාය මගින් නිරුවත් කර අමානුෂික ලෙස පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ ඔක්තෝබර් 21 වැනිදා අගුණුකොලපැලැස්සේ රැඳවියන් විසින් පැවැත්වූ විරෝධතාවයක් හේතුවෙන් ඊට සහභාගි වූ රැදවියන්ට මෙසේ පහරදී ඇත.