Posted on 10.17.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අද(17) සිට බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකාය යෙදවීම සදහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාශය තීරණය කර තිබේ.
බන්ධනාගාරවල සිදුවන විවිධ ජාවාරම් මැඩලීමේ අරමුණින් එහි ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්යය බලකායේ සහයෝගය ලබාගැනීමට පළමුවෙන් ගෙන තිබුණු යෝජනාවකට අනුව, සියලුම බන්ධනාගාරවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්යය බලකාය යෙදවීමට තීරණය කර තිබුණ ද යටිතල පහසුකම් සපයා ගැනීමේ ඇති වූ දුෂ්කරතා හේතුවෙන් එය කල්දැමීමට සිදුවූ බව පොලිස් විශේෂ කාර්යය බලකාය පවසයි. එසේ වුවද අද සිට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් යෙදවීමට කටයුතු යොදා තිබේ. මේ අනුව, බන්ධනාගාර අවට ආරක්ෂාව සහ පිටතින් පැමිණෙන පුද්ගලයන් පරීක්ෂා කිරීමේ කටයුතු පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් සිදුකරනු ඇත.
මේ ආකාරයට ඉදිරියේදී වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල ආරක්ෂාවට ද පොලිස් විශේෂ කාර්යය බලකාය යෙදවීමට නියමිතය. බන්ධනාගාර යනුවෙන් හැදින්වෙන්නේ අපරාධකරුවන් විශෝධනයට ලක්කරන ස්ථාන බැවින් ඒවා සිවිල් පාලනයෙන් ස්වාධීන වෙනම යාන්ත්‍රණයක් යටතේ පවත්වාගෙන යාම පිලිගත් සම්ප්‍රදායකි. බන්ධනාගාර පාලනය සදහා වෙනම ආරක්ෂක නිලධාරින් පුහුනු කර යෙදවීම ලොව පුරාම කළ ආකාරයට ලංකාවේද එය සිදු විය. එහෙත් සෙසු ක්ෂේත්‍ර මෙනම බන්ධනාගාර දේශපාලන ආධිපත්‍ය විසින් සිය අරමුණුවලට පවත්වාගෙන යාම, හෙංචයියන් ඉහල තනතුරුවලට පත්කිරීම නිසා දූෂිත ආයතන බවට පත් විය. මේ තත්වය තුළ සම්පූර්ණයෙන් මර්දනය මුදා හරින විශේෂ කාර්ය බලකාය වැනි සන්නද්ධ බලකායක් බන්ධනාගාරවලට යෙදවීම විශේෂ තත්වයකි. වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වී සිරකරුවන් මරා දැමීම වැනි චෝදනා රැසකට විශේෂ කාර්ය බලකාය වෙත ඇගිල්ල දිගු වූ නිසා මෙය සැලකිලිමත් වියයුතු කාරණයකි.