Posted on 10.23.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2017 වසරේදී මිහින්තලය ප්‍රදේශයේ තරුණයකු අත්අඩංගුවට ගෙන තේක්ක ගසක එල්ලා අමානුෂික අන්දමින් පහරදීමෙන් සිද්ධියෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කළ පොලිස් නිලධාරින් දෙදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් ලෙස තීන්දුකර ඇත.
යතුරුපැදියක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයා, අත්අඩංගුවට ගත් පසුව මේ අමානුෂික පහරදීම කළ පොලිස් සැරයන් සිරිසේනගේ ප්‍රියදර්ශන සහ පොලිස් කොස්තාපල් ඩබ්ලිව්.එම් .නිලන්ත ප්‍රියදර්ශන නැමැත්තන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග ලබා දෙන ලදී.
මෙම මූලික අයිතිවාසිකම් කඩකිරීමට වන්දි ලෙස රුපියල් ලක්ෂ පහ බැගින් වූ රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක් පහර කෑමට ලක්වූ තරුණයාට සිය පෞද්ගලික මුදලින් ගෙවිය යුතු බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අමතරව රුපියල් විසි පන්දහස බැගින් වූ නඩු ගාස්තු අදාළ තරුණයාට ගෙවන ලෙසද නිලධාරීන් දෙදෙනාට නියෝග කෙරිණි.
මෙසේ නියෝගකරනු ලැබුවේ පහර දීම සම්බන්ධ චෝදනාවට ලක්වූ අනුරාධපුර සංචාරක අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් පොලිස් සැරයන්වරයෙකුට හා පොලිස් කොස්තාපල්වරයකුටය.
ඔවුන්ගේ පහර කෑමට ලක් වූ තරුණයා ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සමක විභාගය අවසන් කර එහි තීන්දු ව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් මෙසේ නියෝග කරණ ලදී.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් සැරයන් සිරිසේනගේ ප්‍රියදර්ශන , පොලිස් කොස්තාපල් ඩබ්ලිව්.එම් .නිලන්ත ප්‍රියදර්ශන ඇතුළු 12 දෙනෙකු නම් කරනු ලැබ තිබිණි.
නීතිය ක්‍රියාත්මක කිරීම සහ නීතිය හා සාමය ආරක්ෂා කිරීම යන රාජකාරීන්හි නියුතු පොලිස් නිලධාරින්ට මෙම අයිතිවාසිකම්වලට ගරු කිරීම, ආරක්ෂා කිරීම හා ඉදිරියට ගෙන යාම සඳහා ඉහළම වගකීමක් පැවරී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නැවත නැවතත් තහවුරු කරන බවද අදාළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.