Posted on 06.29.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ණය හුවමාරු පහසුකම් යටතේ අගෝස්තු මස අවසන් වනවිට ඩොලර් මිලියන 3,950ක් එනම් රුපියල් මිලියන 798,000ක් පමණ ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩි ලක්ෂ්මන් ඊයේ (28) නිකුත්කර තිබෙන නිවේදනයක දැක්වේ.
අධිපතිවරයා මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ මේ වනවිට රට දරුණු විදේශ විනිමය අර්බුදයක සිටින බවට මාධ්‍ය ඔස්සේ පලවන ප්‍රචාරවලට පිළිතුරු සැපයීම සඳහායි.
එම පිළිතුරු සැපයීමේදී ජූලි සහ අගෝස්තු මාස දෙක නිම වනවිට ස්වැප් ණය පහසුකම් යටතේ ඩොලර් මිලියන 3,950ක් ලබා ගැනීමට නියමිත බව ඔහු සඳහන් කර තිබේ.
ඒ අනුව චීනයෙන් ඩොලර් මිලියන 1,500ක් ලබාගැනීම පිළිබඳව සාකච්ඡා පවත්වා අවසන්ය. ජූලි මාසයේදී බංගලිදේශ මහ බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් ලබා ගැනීමට නියමිතය. මුලදී මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණේ ඩොලර් මිලියන 200ක් ලබාගන්නා බවය.
අගෝස්තු මාසය තුළදී ඉන්දීය සංචිත බැංකුවෙන් සාක් ණය පහසුකම් යටතේ ඩොලර් මිලියන 400ක්ද එරට මහ බැංකුවෙන් ඩොලර් මිලියන 1000ක්ද ලබා ගැනීමට සැලසුම් කර ඇත.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 800ක ණය ලබා ගැනීමට සූදානමින් සිටී. මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා ණය ස්වැප් පහසුකම් යටතේ නොව මේ වසර වෙනුවෙන් එම අරමුදල ලංකාවට වෙන්කර තිබෙන කෝටාව අනුව ලබා ගන්නා බව මෙයට පෙර සඳහන් කර තිබිණි.