Posted on 07.08.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අද පෙරවරුවේ බත්තරමුල්ල විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් 31 දෙනා කොළඹ අංක 4 මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඇප ලබාදීමෙන් පසුව පොලිසිය විසින් බලහත්කාරයෙන් නිරෝධායනයට රැගෙන යන ලදී.
නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම හා මිලිටරිකරණයට එරෙහිව ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය’ විසින් කැඳවා තිබුණු උද්ඝෝෂනයකදී මෙම පිරිස පොලිස් පහරදීම් මැද අත්අඩංගුවට ගන්නා ලදී. අද සවස කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීරණයේ 4වැනි උසාවියේදී මහෙස්ත්‍රාත් හමුවට පමුණවා තිබිණි.
පොලිසිය විසින් මෙම විරෝධතාකරුවන් නිරෝධායනයට යවන තීන්දුවක් දෙන ලෙස කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. නමුත් පොලිස් නිලධාරින් විශාල පිරිසක් කැරලි මර්දන ඒකක සමග බස්රථයක් අධිකරණ දොරටුව ළඟින් තබා ගෙන පිටතට ඒන විරෝධතාකරුවන් වටා දැඩි පොලිස් රැකවල් යොදා බස්රථය වෙත ඇදගෙන යනු දක්නනට ලැබිණි.
මෙම අවස්ථාවේ එහි රැස්වූ ශිෂ්‍යයන්, ගුරුවරුන් හා දේශපාලන ක්රියාකාරිකයන් විසින් මෙසේ නිරෝධායන නීති භාවිත කරමින් අධිකරණයෙන් ඇප ලබාදුන් පුද්ගලයන් බලහත්කාරයෙන් ගෙනයාමට බලවත් විරෝධය පළකරන ලදී. එම විරෝධතාව පාලනය කිරීමෙන් පසුව පොලිසිය බස්රථවලින් රැගෙන යන ලදී.