Posted on 08.14.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය (CCD) විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘ලංකා ඊ නිව්ස්’හි ආරක්ෂක සහ දේශපාලන විශ්ලේෂකයෙකු වන කීර්ති රත්නායක බව එම වෙබ් අඩවියේ සංස්කාරක සඳරුවන් සේනාධීර පවසයි.
හෙට (15) ඉන්දීය නිදහස් දිනය දා කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට එල්ල විය හැකි ප්‍රහාරයක් පුරෝකථනයක් කරමින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි කොළඹ ඉන්දීය තානාපති කාර්යාලයට කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අද(14) උදෑසන 10 ට කොල්ලුපිටිය පොලිසියට පැමිණ පොලිස් පරීක්ෂක මිද්දෙණිය නමැති නිලධාරියෙකු හමුවන ලෙස දේශබන්ධු තෙන්නකෝන් දුරකථනය මගින් කීර්ති රත්නායකට දැනුම් දී තිබු බව ‘ලංකා ඊ නිව්ස් ‘ වෙබ් අඩවිය පවසයි.
එසේ ප්‍රකාශයක් දීමට එකඟතාවය ප්‍රකාශ කර තිබියදී ඔහුගේ නිවසට මෙන්ම මව්පියන්ගේ සහ හිතවතුන්ගේ නිවෙස් වෙත ගිය පොලිසිය බියවැදීමක යෙදී ඇත.
අද දින පෙරවරුවේ කීර්ති රත්නායක ලංකා ඊ නිව්ස් ලන්ඩන් කාර්යාලය අමතා තමන් කොල්ලුපිටිය පොලිසිය බලා යන බවකි. කෙසේවෙතත් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
ලංකා ඊ නිව්ස් තවදුරටත් දක්වා ඇති ආකාරයට කීර්ති රත්නායක යනු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු බුද්ධි අංශ නිලධාරියෙකි. හමුදා සේවයෙන් ඉවත්ව සිටින ඔහු වෙබ් අඩවිය හරහා කලාපීය ආරක්ෂක සහ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ලිපි රාශියක් ‘ලංකා ඊ නිව්ස්’ වෙත ලියා ප්‍රසිද්ධ කර ඇත.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කළේ, කීර්ති රත්නායක ගුවන් හමුදාවේ නිලධාරියෙකුව සිට පසුව ගුවන් හමුදා සේවයෙන් නෙරපා ඇති පුද්ගලයෙකු බවයි.
කිර්ති රත්නායක සිදුකළ අනාවරණය සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් ‘ලංකා ඊ නිව්ස්’ සංස්කාරකවරයා මෙසේද කරුණු දක්වා ඇත.
”හෙට (15) ඉන්දීය ජාතික නිදහස් දිනය යි. කලාපයේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන තලේබාන් ත්රස්තවාදීන්ගේ නැගී ඒමත් ඒ පසුපස චීන ආණ්ඩුව සිටීමත් චීනය ලංකාව තුල නිදහසේ කරගෙන යන කුමන්ත්රණකාරී ක්රියාදාමයත් පිළිබඳ සැලකිල්ලෙන් පසුවන කීර්ති රත්නායක හෙට නිදහස් දිනය දා කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි පුරෝකථනයක් කරමින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි කොළඹ ඉන්දීය තානාපති කාර්යාලයට අනතුරු ඇඟවීමක් කර ඇත.
චීන සහ තලේබාන් ත්රස්තවාදීන් අතර සම්බන්ධය පෙන්වීම සඳහා සේයාරුවක්ද ඔහු ඉදිරිපත් කර තිබිණ. එය තලේබාන් ත්රස්තවාදීන් සහ චීන විදේශ ඇමැති එකට සිට ගත් සේයාරුවකි.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ඉන්දීය තානාපති කාර්යාලය දිල්ලියට මේ බව දැනුම් දීමෙන් අනතුරුව දිල්ලි ආණ්ඩුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමතා තම තානාපති කාර්යාලයේ ආරක්ෂාව වැඩි කරන ලෙස ඉල්ලා ඇත.
තොරතුරු අනුව ආරක්ෂාව දැඩි කරනවා වෙනුවට දැන් සිදුවෙමින් පවතින්නේ පණිවිඩකරුවා පසුපස පොලිසිය හඹා යමින් ඔහු දඩයම් කිරීමට උත්සාහ කිරීමකි. එසේ නොමැති නම් තමන් පොලිසියට එන බව දන්වා තිබියදීත් කීර්තිගේ අඹු දරුවන් සහ දෙමාපියන් වෙසෙන නිවෙස් වලට මහ පාන්දර කඩා පනිමින් ඒ මිනිසුන් හිරිහැරයට පත් කරන්නේ නැත.”
(මූලාශ්‍රය -theleader.lk)