ඉන්දිය ප්‍රහාරක නියමු අභිනන්දන් පාකිස්තානයෙන් සියරට පැමිණේ!

පාකිස්ථානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ප්‍රතිප්‍රහාරයකින් ගුවන්යානය අනතුරට පත්ව පාකිස්තාන අත්අඩංගුවට පත්වූ ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්දමන් පාකිස්තාන රජයේ සමාව ලැබ නැවත ඉන්දියාවට පැමිණියේය. 

සිරභාරයට පත් ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් නියමුවා සාමයට අත දිගු කිරීමක් ලෙසින්
ඉන්දියාවට බාර දෙන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එරට පාර්ලිමේන්තුව අමතමින් පෙරේදා (28) පැවැසීය.

පාකිස්තාන අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් හමුදාවේ නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් අද (1) පස්වරුවේ ඉන්දීය බලධාරීන් වෙත බාර දෙන බව පාකිස්තාන විදේශ අමාත්‍ය ෂහ් මහ්මූද් කුරේෂි එරට පාර්ලිමේන්තුව අමතමින් අද (1) පෙරවරුවේ පැවැසීය.

කෙසේ නමුත් රාත්‍රී 8 පසුවන තුරුත් ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් ඉන්දීය බලධාරීන් වෙත බාර දී නොතිබිණි. වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් ඉන්දියාවට බාර දීමට නියමිතව තිබුණේ පාකිස්තානයේ ලාහෝර් නගරයට නැගෙනහිරින් පිහිටි වගාහ් දේශසීමාවේදී ය. එය වාර්තා කිරීමට දෙරටේම මාධ්‍යවේදීන් පැමිණ සිටි දෙරටේම විශාල ජනතාවක් එක් රැස්ව සිටියහ. ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් ඉන්දියාවට බාර දීම ප්‍රමාද වීමත් සමඟ එහි පැමිණ සිටි ජනතාව කෙමෙන් කෙමෙන් අඩුවිය. 

පසුගිය 26 වැනිදා ඉන්දීය ගුවන් හමුදාව පාකිස්තාන දේශසීමා උල්ලංඝණය කරමින්, පාකිස්තානයට පැමිණ පාකිස්තානයේ බලාකෝත් ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයට එකට එක කිරීමක් ලෙස පාකිස්තාන ගුවන් හමුදාව පෙබරවාරි 27 වැනිදා ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා කිහිපයකට ප්‍රහාර එල්ල කළේය. ඉන්දු පාකිස්තාන දේශසීමාවේදී ඉන්දියාව දෙසින් පියාසර කළ ඉන්දීය ප්‍රහාරක යානා දෙකකට පාකිස්තාන ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා පහර දුන්නේය. උඩු ගුවනේ ගුවන් යානා එකිනෙක වෙඩි හුවමාරු කර ගනිද්දී, එක් ඉන්දීය ප්‍රහාරක යානයක් පාකිස්තානයට කඩා වැටුණි. සිදු වූ ගැටුමේ දී ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා එල්ල කළ ප්‍රහාරයකින් පාකිස්තාන ප්‍රහාරක යානයක් ද කඩා වැටුණු බව ඉන්දියාව ප්‍රකාශ කළත් පාකිස්තානය එය ප්‍රතික්ෂේප කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.  

Chandana Sirimalwatte :