එක්සත් ජනපද හදිසි තත්වය – විරෝධය ඇවිළෙයි, ප්‍රාන්ත 16ක් අධිකරණයට යයි!

අමෙරිකාව සහ මෙක්සිකෝව අතර දේශ සීමා තාප්පයක් ඉදිකිරීමේ ගැටළුව මුල්කරගනිමින්  රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය ගත් තීරණයට එරෙහිව අමෙරිකානු ප්‍රාන්ත 16ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩුවක් ගොනුකරයි.

මෙසේ දේශ සීමා තාප්පයක් ඉදිකිරීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 5.7ක මුදලක් ලබාදෙන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීම එරට කොංග්‍රසයෙන් ප්‍රතික්ෂේප වීමෙන් පසුව කොංග්‍රසයේ අවසරයෙන් තොරව මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයාගත ගන්නට හදිසි බලතල ලබාදෙන මෙන් ට්‍රම්ප් ඉල්ලීමක් කළේය. මේ නිසා ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව කැලිෆෝනියා ප්‍රාන්තය ප්‍රමුඛ ප්‍රාන්ත 16ක් නඩු මගට පිවිස තිබේ.

මේ අන්දමට ජනාධිපතිට හිමි බලතල අයථා ලෙස පරිහරණය කිරීම හේතුවෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා අධිකරණය ඉදිරියට ගෙන ඒමට බලාපොරොත්තු වන බව කැලිෆෝනියා ප්‍රාන්තයේ නීතිපතිවරයා පවසයි. එමෙන්ම බදුගෙවන්නන්ගේ මුදල් ඒකපාර්ශ්විකව සොරකම් කිරීමට ට්‍රම්ප්ට ඉඩ ලබා නොදෙන බවද අදාළ ප්‍රාන්ත බලධාරීන් සඳහන් කරයි. මේ අතර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිව රටපුරා විරෝධතා රැසක්ද පැන නැගී ඇත.

Chandana Sirimalwatte :