කින්නියා ප්‍රදේශයේදී අයෙක් දියේ ගිලී මරුට – නොසන්සුන් වූ ජනතාව සහ නාවික හමුදාව අතර ගැටුමක්

කින්නියා, කන්ඩල්නාඩු ප්‍රදේශයේ මහවැලි ගඟේ නීතිවිරෝධී වැලි ගොඩදැමීමේ යෙදී සිටි පිරිසක් නාවික හමුදාව දැක ගඟට පැන පලායාමට උත්සාහ කිරීමේදී එක් අයෙක් මරණයට පත්ව තවත් අයෙක් අතුරුදහන්ව තිබේ. මරණයට පත් පුද්ගලයාගේ මළ සිරුර මෙවවිට සොයාගෙන ඇති අතර එලෙස මරණයට පත්ව ඇත්තේ කින්නියා, ඉඩිමන්හි පදිංචි අබ්දුල් රවුෆ් මොහොමඩ් පාරිස් (22) නමැති අයෙකි.

එම ප්‍රදේශයේම පදිංචි බසීර් මොහොමඩ් රමීෂ් (19) නමැති අය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබිණි.

නීති විරෝධී වැලිගොඩදැමීම පිළිබඳ ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාවේ පිරිසක් කන්දල්කාඩු ප්‍රදේශයට ගිය අවස්ථාවේ වැලිගොඩ දැමූ කිහිපදෙනෙකු නාවික හමුදාව දැක පැනගොස් මහවැලි ගඟට පැන තිබේ. ඉන් එක් අයෙකු පිහිනා ගොඩබිමට පැමිණ ඇති අතර, දෙදෙනෙකු අතුරුදන් වීමත් සමග එම ප්‍රදේශයේ ජනතාව සහ නාවික හමුදාව අතර නොසන්සුන්තාවයක් වර්ධනය වී ඇති බව වාර්තා වේ.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කලහකාරී ලෙස හැසිරුණු පිරිස් නාවික හමුදාවට ගල්මුල් හා පොලුවලින් පහරදීම නිසා 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් හතර දෙනෙකු රෝහල්ගතකළ බව නාවික හමුදාව පවසයි.

එම අවස්ථාවේ ජනතාවට වෙඩි තැබූ බවට චෝදනා එල්ල වී ඇති අතර නාවික හමුදාව පවසන්නේ තම සෙබළුන් අහසට වෙඩි තැබූ බවයි.

Sithara Sajeewani :