Posted on 04.28.2020 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
කියුබානු වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා වෘත්තිකයන් 1450කට අධික පිරිසක් මේ වනවිට රටවල් 22ක කොරෝනා වසංගත මර්දන ක්‍රියාකාරකම්වල යෙදී සිටිති.
එහි නවතම පියවර ලෙස 217ක කණ්ඩායමක් පසුගියදා දකුණු අප්‍රිකාවේ සෞඛ්‍ය සේවාවේ සහායට පැමිණියහ. කියුබානු ‘හෙන්රි රීව්ස් සෞඛ්‍ය සේවා බලකාය’ නියෝජනය කරන මෙම සෞඛ්‍ය සේවා වෘත්තිකයන් ඉතාලියේ කොරෝනා වසංගතය මැඩලීමට පැමිණි අවස්ථාවේ ජාත්‍යන්තර අවධානයට ලක් විය.
මෙම ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා ප්රයත්නය දීර්ඝ කාලයක් කියුබානු සමාජවාදී රජය විසින් සිය ජාත්‍යන්තරවාදී පිළිවෙත යටතේ ක්‍රියාත්මක කරයි. විධිමත් සෞඛ්‍ය බලකායක් ලෙස පළමුවරට, 2005 කැරිබියානු කලාපයේ හමාගිය ‘කැත්රිනා කුණාටුව’ අවස්ථාවේ එක්සත් ජනපදයේ ආපදා සහන ක්‍රියාන්විතයට එක් කළ හැකි බවට කියුබානු නායක කස්ත්‍රෝ පවසා තිබිණි. එහෙත්, කියුබානු විරෝධි පිළිවෙත යටතේ ජෝර්ජ් ඩබ්. බුෂ් ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කළේය.
කෙසේවුවද කියුබානු නිදහස් අරගලයේ මුල් යුගයේ සටන් වැදී මිය ගිය, ‘හෙන්රි රීව්ස්’ නමැති අමෙරිකානු සොල්දාදුවා සිහිකරමින් මෙම සෞඛ්‍ය බලකාය නම් කෙරුනු අතර එහි වෘත්තිකයෝ දහසකට වැඩි පිරිසක් මේ වනවිටත් ලතින් අමෙරිකාව, අප්‍රිකාව වැනි රටවල සෞඛ්‍ය සේවා සහායකයන් ලෙස සිය ජාත්‍යන්තරවාදී වගකීම ඉටුකරමින් සේවය කරති.
ඇතැම් රටවල්වලින් මෙම වෘත්තිකයන්ට වැටුප් ගෙවන අතර එයින් කොටසක් එකී සෞඛ්‍ය සේවකයන්ගේ පවුල්වලට ලබා දෙන නමුත් වැඩි කොටසක් අමෙරිකානු සම්බාධක හේතුවෙන් ආර්ථික වශයෙන් බැට කන කියුබානු රාජ්‍ය විදේශ සංචිතයට එක් වේ.