தமிழ்
English
Contact
Saturday 4th May 2019    
කූණු කන්දට යටකර මිනිසුන් මරා දමා මාස තුනයි. තවම විසදුමක් නෑ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කූණු කන්දට යටකර මිනිසුන් මරා දමා මාස තුනයි. තවම විසදුමක් නෑ!



වසර අටක් තිස්සේ  මීතොටමුල්ල කුණු කන්දට එරේහිව සටන් කළ දයාබර සටන් සගයන් මියගොස් අදට (ජූලි 14) මාස තුනකි. මෙම මනුෂ්‍ය ඝාතනයට තෙමසක් ගතවුවද එහි වගකීම රජය හෝ කුණුවලින් කප්පම් ගත් මැති ඇමතිවරු හෝ රාජ්‍ය ආයතන භාර‍ ගෙන නැත.  මීතොටමුල්ලේ කුණු කන්ද නිසා අනාථ වූ පිරිසි තවමත් අනාථය. ඔවුන්ට නිසි පරිදි ජීවත් වීමට අවශ්‍ය වටපිටාවක් සකස් කිරීමට තවමත් සමත්වී නොමැත.

2015 දෙසැම්බර් මස චීනයේ සෙන්ෂෙන් නගරයේ කුණු කන්දක් නාය යෑමෙන් පුද්ගලයන් ගණනාවක් මරණයට පත්විය. ඉන්පසුව ඔවුන් කැළිකසල මනා කලමණාකාරිත්වයෙන් නැවත නිෂ්පාදනයන්ට යොදාගැනීම ආරම්භ කළ අතර මේ වන විට එය මැනවින් සිදුවෙමින් පවතී. නමුත් එරට අධිකරණය මෙම කුණු ගොඩ ගොඩ ගැසීමෙි වරදට රාජ්‍ය නිළධාරීන් හා තවත් පුද්ගලයන් ගණනාවක් වසර 20ක් දක්වා සිරදඩුවම් නියම කරන ලදී.

 මෙරට කුණු කන්දකට මිනිසුන් යටකර තෙමසක් ගතවන කළ රජය රටපුරා තැන් තැන්වල කුණු කදු ගොඩ ගසා ජනතාවගේ මිනීවලවල් කනිමින් සිටි. ලෝකයේ කුණු කදු ආදායම් මාර්ග බවට පත්කරගනිමින් ඒවා නිසි ලෙස කළමනාකරණය කරන අතර මෙරට ඒවා ඇමතිලාගේ කප්පම් කුට්ටි වී කුණුවන ජනතාව මරණයට පත්කරණ සාධකයක් බවට පත්කරගන ඇත. මීතොටමුල්ලට සිදුකලේද එයමය.

1989 කාලයේ සිට මීතොටමුල්ල්ට කුණු ගෙනවිත් දැමිමට එවකට මුල්ලේරියාව , කොළොන්නාව, කොටිකාවත්ත පළාත් පාලන ආයතන පටන් ගත් අතර එසේ කුණු දැමීම ආරම්භ කළේ කැළණි ගංගා නිම්නයේ ජල ගැලීම පාලනය කිරීමට තිබූ තෙත් බිමක් හා වෙල්යායකටයි.

මෙලෙස ආරම්භ වූ කුණු දැමිම 2009 වසරේ මහා පරිමාණ ලෙස සිදුකරන්නට පටන්ගත්තේ බ්ලුමැන්ඩල් හි කුණු දැමීම අධිකරණ නියෝගයකින් තහනම් කළ පසුවය. මුලින් මීතොටමුල්ල ප්‍රදේශයේ අක්කර  දෙකකින් ආරම්භ වූ කුණු දැමීම වසරින් වසර ගෙවී 2015 වන විට අක්කර  දහනවයක් පුරා පැතිර ගිය මීටර් 300 වඩා උස දැවැන්ත කුණු කන්දක් බවට පත් විය.

මෙම ප්‍රදේශයේ කුණු දීමට අවසර ලබා තිබුනේ කොළඔ නගර සභාවට පමණි. නමුත් සෑම දිනකම රණාල, බියගම, කඩුවෙල ප්‍රදේශවල පුද්ගලික ආයතනවල වීෂ සහිත අපද්‍රව්‍ය මෙම කුණුගොඩට බැහැර කරණ ලදී. ඒ කප්පම්කරුවන්ට එක් ලොරියකින් දිනකට රුපියල් 4000 පමණ මුදලක් ලබාදීමෙනි.

කෙසේවෙතත් දිනකට මීතොටමුල්ල කුණු කන්දට කුණු ටොන් 1250ට වඩා වැඩි ප්‍රමාණයක් කොළඔ අවටින් ගෙනැවිත් දමන ලදී. මෙහි දීර්ඝකාලීන ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රදේශයේ ජනතාව වීශාල වශයෙන් රෝගාතුරව සිටි අතර භූගත ජලය දූෂණය වීමේ සිට නොයෙක් පාරිසරික ප්‍රශ්න පැන නගින්නට විය.

එය හොදින් දැනුන මීතොටමුල්ල ජනතාව විවිධ පාර්ශවයන් දැනුවත් කිරීම්වලින් අනතුරුව  2013 වසරේත් 2015 වසරේත් උද්ඝෝෂණවලට යොමු වූහ. ඒ විරෝදතාවට සවන් දෙනවා වෙනුවට පැවති හා පවතින රජයන් කළේ තම ජීවිත බේරාගැනීම වෙනුවෙන් සටන් කළ ජනතාවට මැරයන් ලවා පහරදීමයි.

මිතොටමුල්ල, කුරුණියවත්ත, දහම්පුර, 101 වත්ත, වැල්ලමිපිටිය, පන්සල් හේන. නාගහවත්ත ප්‍රෙද්ශවල ජනතාවට පහර දී රෝහල් ගතකිරීමෙන් නොනැවතී ඔවුන් ඝාතනය කිරීමට අවශ්‍ය වටපිටා මේ තාක් පැවති ආණ්ඩු විසින් නිර්මාණය කරන ලදී. ජනතා විරෝධයන් මධ්‍යයේ කුණු කදු ගොඩගසමින් මීතොටමුල්ල ජනතාව මරණයට තල්ලු කළ බලධාරීන් මීතොටමුල්ලේ නතර නොවී දැන් ඒකල ප්‍රදේශයේ මෙම කුණු නැවත ගෙඩ ගසන්නට පටන් ගෙන තිබේ. අධිකරණයෙන් දුන් තහනම් නියෝග තිබුණද තවමත් වත්තල හා ජාඇල නගර සභා මුතුරාජවෙල අභය භූමියට කසළ බැහැර කරමින් සිටි. එයින් ද නෙනැවතී කොළඔ කුණු පුත්තලමේ අරුවක්කාලු ප්‍රදේශයට ගෙන යාමට ඔවුන් උත්සාහ කරමින් සිටී. කැළි කසල වෙන්කර කළමණාකරනය හා නැවත නිෂ්පාදනයන් සදහා යොදා ගැනීමට පරිසර අමාත්‍යංශය හෝ රජය කිසිදු උත්සාහයක් ගන්නේ ද නැත. එයට හේතුව කුණුවලින් කප්පම් ගන්නවාට අමතරව වගුරු බිම ගොඩකරමින් ඉඩමි කට්ටි කර විකිණිමේ ජාවරමක්ද ක්‍රියාත්මක වෙමින් තිබෙන නිසාය .

කිරිදිවැල, මුතුරාජවෙල, කරදියාන පමණක් නොව රටපුරාම ජනතාව කුණු කදුවලට බිලි දෙන තුරු පරිසර අමාත්‍යංශය හෝ වගකිවයුතු උදවිය ප්‍රතිචක්‍රිකරනය සදහා හෝ පොහොර නිෂ්පාදනය සදහා කුණු භාවිතා කරන්නට අදහසක් නැත. වෙනත් රටකදී නම් කුණු යනු  ආදායම් උත්පාදනය වෙනුවෙන් යොදාගන්නා මහගු සම්පතකි .

නමුත් අවාසනාවකට මෙරට බලධාරින් කුණු කදු ගොඩ ගසමින් එය පාතාලයේ එක් ආදායම් මාර්ගයක් බවට පත්කර ඇත. මිනිසුන්ගේ ජීවිත බිලිදෙමින් කුණුවලින් කප්පම් ගන්නා ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීම වෙනුවට පිටරටවලින් ගෙනෙන විද්‍යුත් අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒම ගැනද දැන් තිත තැබිය යුතුය. මෙරට එක්වන අපද්‍රව්‍ය කළමණාකරනය කර ප්‍රතිනිෂ්පාදනයන් සදහා යොදාගත හැකිය. එයට අවශ්‍ය තාක්ෂණික දැනුම පරිසර අමාත්‍යංශය සතුව ඇත.

රවින්ද්‍ර කාරියවසම්

Save