Posted on 12.13.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අද(13) කොළඹ කොටුව පොලිසිය විසින් කාන්තා ක්‍රියාකාරිනියන් සිවුදෙනකු නීති විරෝධී ආකාරයට රඳවා තබාගෙන පැය දෙකක් පමණ පොලිස් ස්ථානයේ රස්තියාදුකර තිබේ.
මේ සම්බන්ධව එම කාන්තා ක්‍රියාකාරිනියන් විසින් හෙළිකළ තොරතුරු මෙසේය.
එහිදී සිදුව ඇත්තේ කැට හොල්ලමින් ආධාර එකතු කළ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියන් බලහත්කාරයෙන් පොලිස් ස්ථානය කරා ගෙනයාමකි. ඔවුන් කණ්ඩායම අද(13) කොළඹ, කොටුවට පැමිණියේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කිරීම හා ඊට අදාළව සිදු කරන වැඩපිළිවෙළට ආධාර ලබා ගැනීමටය. කාන්තා ක්‍රියාකාරිනියන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරිනියන් පවසා තිබෙන්නේ ඔවුන් නීති විරෝධී ක්‍රියාවක් සිදු කරන බවයි. ඒ අනුව ක්‍රියාකාරිනියන් සිව් දෙනා පොලිස් ජීප් රථයක නංවා කොටුව පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ. එහිදී මෙම නියෝජිතයන් ප්‍රශ්න කර ඇත්තේ, තමන් අත්අඩංගුවට ගන්නා ලද්දේ කවර නීතියක් යටතේද යන්නයි.
එහෙත්, ඊට එක්වරම පිළිතුරු නොදුන් පොලිස් නිලධාරින් ටික වේලාවකට පසුව පැමිණ දැනුම් දී තිබෙන්නේ මෙම ක්‍රියාකාරිනියන් ‘පාදඩ ආඥා පනත‘ යටතේ වරදක් සිදු කර තිබෙන බවයි. තමන් කළ දේ පාදඩ ආඥා පනතට අනුව වරදක් වන්නේ කෙසේදැයි පැහැදිලි කරන ලෙස ඔවුන් ඉල්ලා සිටි විට පිළිතුරු ලැබී ඇත්තේ ”ඕඅයිසී මහත්තයා එනකං ඉන්නෙ” යන්නය
කොටුව පොලිසියේ ස්ථානභාර නිලධාරි ප්‍රධාන පොලිස් පරික්ෂක සාගර ලියනගේ පැමිණි පසුව, කාන්තා ක්‍රියාකාරිනියන් තමන්ගේ ප්රශ්නය ඔහු වෙත ඉදිරිපත් කර ඇත. එහිදී මෙම අත්අඩංගුවට ගැනීම කිසිදු නීතියකට අනුව සිදු වී නැති බවත්, ඔවුන් කිසිදු වරදක් සිදු කර නැති බවත් පිළිගෙන තිබෙන ඔවුන්ව නිදහස් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අතරම ඔහු කාන්තා ක්රියාකාරිනියන්ට දැනුම් දී ඇත්තේ “නීතියක් නැතත් කොටුවේ මුදල් ඉල්ලන්න දෙන්නේ නෑ” යන්නය.

