தமிழ்
English
Contact
Friday 14th May 2021    
කාන්තා දින උද්ඝෝෂණයේදී පොලීසිය සිදුකළ ලිංගික හිංසනවලට එරෙහිව පැමිණිල්ලක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කාන්තා දින උද්ඝෝෂණයේදී පොලීසිය සිදුකළ ලිංගික හිංසනවලට එරෙහිව පැමිණිල්ලක්



මාර්තු 8වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් පැවති උද්ඝෝෂණය සඳහා එක්වී සිටි කාන්තාවන්ට ඉහළ ‌පොලිස් නිලධාරියකු කළ ලිංගික හිංසනවලට විරුද්ධව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද (10) ජාතික ‌පොලිස් ‌කොමිසම ‌වෙත පැමිණිලි කළේය. එහිදී අදහස් දක්වමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න පැවසුවේ මෙම පොලිස් නිලධාරියා මීට ඉහත පැවති විරෝධතාවලදීද ලිංගික හිංසන සිදුකළ බව වාර්තා වී ඇති බවයි.

එසේම ළමා හා කාන්තා කාර්යාංශයටද පැමිණිල්ලක් යොමුකිරීමට බලාපොරොත්තු වන බව ඇය පවසයි.

හේමමාලි අබේරත්න වැඩිදුරටත් පැවසුවේ,
“මෙවැනි විරෝධතාවලට සම්බන්ධ වෙන සහෝදරියන් සම්බන්ධයෙන් මැදිහත්වෙන අවස්ථාවලදී පොලිස් නිලධාරිනියන් වෙනුවට පොලිස් නිලධාරීන් යෙදවීම ගැනත් අපි පැමිණිල්ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරන්නේ ලංකාවෙ පොලීසිය නීතිය හා සාමය ආරක්ෂා කරන්න ඉන්නවා කියලා. නමුත් අපි මේ රටේ කාන්තාවන්ට කියනවා ඔබ බලාපොරොත්තු වුණා නම් මේ රටේ පොලීසියෙන් නීතිය හා සාමය තවදුරටත් ඒක බලාපොරොත්තු වෙන්න එපා කියලා. පසුගිය දවස්වලත් මේ රටේ විවිධාකාරයෙන් පොලීසිය කාන්තාවන් පීඩාවට ලක් කරලා තියෙන ආකාරය අපි දැක්කා. මේ තුච්ඡ නින්දිත අශිලාචාර ක්‍රියාවලිය නවත්වන්න මේ රටේ ස්ත්‍රීන්, පිරිමින්, ගොවි, කම්කරු, ශිෂ්‍ය ඇතුළු සියලුම ජනතාව පෙරමුණ ගන්න ඕන “