Posted on 07.27.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිත පිරිසක් අද(27) කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයන් හමුවී සාකච්ඡා කළහ.
රට තුළ උද්ගත වෙමින් පවතින ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් ජනතාව පීඩා විඳීම සම්බන්ධ විසඳුම් සෙවීමේ අරමුණින් සාකච්ඡා කළ යුතු බවට පෙ.ස.ප. විසින් පසුගියදා කළ යෝජනාවට ප්‍රතිචාර ලෙස කොමියුනිස්ට් පක්ෂය විසින් මෙම සාකච්ඡාවට ආරාධනා කර තිබිණි.
ඒ අනුව, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත, අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව සහ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ජී. වීරසිංහ, හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එස්. සුභසිංහ, දේශපාලන මණ්ඩල සභිකයින් වන අගා ජයසේන, සැනී විජේසිංහ, ඩී කේ ජිනදාස හා මධ්‍යම කාරක සභික විල්ෆ්රඩ් ජයසිංහ යන නියෝජිතයන්, කොළඹ කොටා පාරේ, කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ හමු වූහ.
අද පෙරවරුවේ පැවති මෙම සාකච්ඡාවේදී පොදුවේ ජනතාව මුහුණ දෙන අර්බුදය හා එය ඉදිරියේ ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පෙ.ස.ප. විසින් අදහස් දක්වන ලද අතර විශේෂයෙන් බල පෙරලියකට එහා ගිය දේශපාලන ජයග්‍රහණ දක්වා ජනතාව සමග ඇතිකර ගත හැකි දේශපාලන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් යෝජිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට ඇති සූදානම ප්‍රකාශ කරන ලදී. මේ වනවිට සමාජයක් ලෙසත් විශේෂයෙන් වැඩකරන ජනතාව මූළිකව පීඩිත ජන කොටස් හමුවේ පවතින දුෂ්කරතා නිසා ඇතිව තිබෙන විරෝධය සහ ඒ හමුවේ ආණ්ඩුව දක්වන ප්‍රතිචාර සම්බන්ධවත් දේශපාලන අරගල හුදු බල මාරුවකට පාවිච්චී වීමේ අනතුර සම්බන්ධවත් පෙ.ස.ප. සිය ස්ථාවරය ප්‍රකාශ කරන ලදී.
මේ අවස්ථාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන කටයුතු ආණ්ඩුවේ සන්ධානයක් වශයෙන් සිටිමින් ඉදිරියට ගෙන යන බවත් ජනතාව මුහුණ දෙන ගැටුල්වලට විසඳුම් සෙවීමේ පියවරයන්ට පක්ෂයේ සහයෝගය හිමිවන බවත් කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි ලේකම් ඩියු ගුණසේකර විසින් ප්‍රකාශ කරන ලදී. ඉදිරියේ මෙවැනි ජනතා ගැටලු සම්බන්ධ අදහස් හුවමාරු කරගනිමින් පක්ෂ අතර අවබෝධය පුලුල් කරගැනීමේ අවශ්‍යතාවද කො.ප. නියෝජිතයන් විසින් පෙන්වා දුන් බවද සඳහන් කෙරිණි.
