Posted on 08.01.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රට තුළ උද්ගත වෙමින් පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය සම්බන්ධ සාකච්ඡාවක් සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිත පිරිසක් අද ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් හමුවී සාකච්ඡා කළහ.
ශ්‍රිල.නි.ප. සභාපති මෛත්‍රිපාල සිරිසේනගේ සහභාගිත්වයෙන් ඔහුගේ නිල නිවසේ පැවති මෙම සාකච්ඡාව අවසානයේ මාධ්‍යවේදින් වෙත කරුණු දක්වමින් පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කළේ මේ වනවිට රට තුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය හා දේශපාලන තත්වයන් සම්බන්ධයෙන් මෙන්ම ජනතාව මුහුණ දෙන වසංගතයේ පීඩාව සමග ආර්ථිකයේ බර දරාගැනීමේ ගැටලු සම්බන්ධ කරුණු පලදායී මට්ටමේ සාකච්ඡාවක් ඇති වූ බවයි.
චීනයේ, අමෙරිකා එක්සත් ජනපදයේ බලදේශපාලනික ගැටුමට ලංකාව මැදිහත් කරගැනීමත්, යුරෝපා සංගමය හා ඉන්දියාව එහිදී ඉටුකරන කාර්යභාරය සහ රටට එල්ල වෙමින් තිබෙන පීඩනය සම්බන්ධවත් කරුණු දක්වමින් සාකච්ඡාව පැවැත්වුණු බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ වනවිට විරෝධයට ලක්ව ඇති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධ සාකච්ඡාවක් කෙරුණු බවද එම කාරණයේදී ශ්‍රීල.නි.ප. සහ පෙ.ස.ප. අතර ප්‍රතිපත්තිමය වෙනස්කම් තිබියදී යම් කරුණුවලට එකඟ විය හැකි තත්වයක් තිබෙන බව පෙ.ස.ප. අධ්‍යාපන ලේකම්වරයා පැවසීය. පක්ෂ දෙක අතර ප්‍රතිපත්තිමය පරස්පරතා තිබියදී භූ දේශපාලනික ආතතීන්වලදී රටේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම පමණක් නොව, රාජ්‍ය දේපළ විකිණීම, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය වැනි කාරණාවලදී ඒකඟ වියහැකි නිශ්චිත කාරණා ඇති බව සාකච්ඡාවේදී මතු වූ කරුණු ලෙස පවතින බවද ඔහු කියා සිටියේය. තවද ඉදිරියේදී මෙවැනි සාකච්ඡා පවත්වා ගෙන යමින් ඇතැම් කරුණ සඳහා පක්ෂවලට එක්ව ක්‍රියාමාර්ග ගැනීමට හැකිවනු ඇති බවද පැවසීය.
ගුරු අරගලය වැනි කාරණාවලදී සාධාරණ ඉල්ලීම් ඉදිරිපත්වුවද ආණ්ඩුවේ ප්‍රතිචාර සම්බන්ධ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රසාදයක් නොමැති බව සාකච්ඡාවේදී අනාවරණය වූ බවද පුබුදු ජයගොඩ පැවසීය. මීට අමතරව, පොහොර ප්රශ්නය සම්බන්ධ කරුණුද සාකච්ඡාවට බඳුන් වූ අතර සාකච්ඡාව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය වු බවද පැවසීය.
ශ්‍රිල.නි.ප. සමග මෙම සාකච්ඡාව, රටේ අර්බුදය හේතුවෙන් ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සම්බන්ධ විසඳුම් සෙවීමට පෙ.ස.ප. විසින් පක්ෂ කිහිපයකට යෝජනා කළ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවක එක් අවස්ථාවකි. වර්ධනය වෙමින් පවතින ආණ්ඩු විරෝධය හරහා හුදු බලමාරුවකින් කෙළවර නොකරන ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරමුණ සහ ඒ් සම්බන්ධ යෝජනා මොනවද කියන කාරණය සම්බන්ධයෙන් පෙ.ස.ප. වැඩපිළිවෙළක් සම්බන්ධ අදහස් ඉදිරිපත් කිරීමත් ඒ පක්ෂවල අදහස් හා යෝජනා සම්බන්ධ ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රිලංකා නිදහස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය සමඟ සාකච්ඡාව කිරීමට අදහස් කරන බව පෙ.ස.ප. ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් විසින් ජූලි 21 වැනිදා මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය. ඒ අනුව, ඒ පක්ෂවලට ලිඛිතව ඉදිරිපත් කළ යෝජනාවකට ප්‍රතිචාර ලෙස ශ්‍රිලංකා නිදහස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය සමඟ පෙ.ස.ප. සාකච්ඡා පැවැත්වීය.
ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.
