කොන්ක්‍රිට් සමග මුහුදේ ගිල්වූවෝ සහ ජනාධිපතිගේ මිනිහා රවින්ද්‍ර විජේගුණරත්න!

මෙයින් අවුරුදු 9ට පෙරාතුව (අද වැනි දිනක) කොළඹදී පැහැර ගෙන ගිය තමිල් තරුණයන් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයට අවශ්‍ය සාක්ෂි දෙන්නට ආරක්ෂක මාණ්ඩලික් ප්‍රධානි රවින්ද්‍ර විජේගුණරත්න නොපැමිණියේ ඇයිද යන්න දැන් අපි දනිමු.

අවශ්‍ය නම් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ, මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රහස් පොලිසියට නියෝග කර තිබියදී රටේ ඉහළම හමුදා නිලධාරියා ලෙස සැලකෙන ඔහු, පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කැදවීමෙන් පසුව පරීක්ෂණ මග හැර රටින් පළාගිය බව තවදුරටත් සැකයෙන් තොරව තහවුරු වී තිබේ.

චූදිතයකුට සහායවීම

තරුණයන් 11 දෙනකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චූදිතයකු වූ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට මැලේසියාවට පැන යාමට ආධාර කළ නිසා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණයට අවශ්‍ය ව තිබේ. අධිකරණයට අවශ්‍ය චූදිතයකු විදේශගත කිරීමට සහාය දුන් බවට චෝදනා එල්ල වීමෙන් ඔහු අධිකරණයට අපහාස කිරීමේ සහ අපරාධකරුවකු ආරක්ෂා කිරීමේ මෙන්ම නීති විරෝධී ආකාරයට රටින් පන්නා හැරීමේ චෝදනාවලට ලක් වේ. එහෙත් ආරක්ෂක අමාත්‍යවරයා සහ රටේ සේනාධිනායකයා වන ජනාධිපතිවරයා මෙම පළා යාම නොදැන සිටියාද යන ප්‍රශ්නය මතුවේ.

කෙසේවෙතත් ඒ පිළිබඳ ජනමාධ්‍ය විසින් විමසූ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක කියා තිබුණේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට විදේශගතවීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීම අවශ්‍ය නොවන බවය. මෙරට රාජ්‍ය සේවයේ සියලු දෙනා තමන්ගේ අංශ ප්‍රධානියාට දැනුම් දිය යුතු බැවින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ අංශ ප්‍රධානියා ආරක්ෂක ලේකම්වරයා බවද ඔහුට දැනුම්දීම ආරක්ෂක අමාත්‍යවරයාට දැනුම්දීමක් හා සමාන බවද ශිරාල් ලක්තිලක තර්ක කරයි.

එසේම කිසියම් ලෙසකින් ඔහු රටින් පිටවීම වැළැක්විය යුතුව තිබුණේ නම් ඒ සඳහා කළ යුතුව තිබුණේ ඒ සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීම බව ද නීතිඥ ශිරාල් ලක්තිලක සඳහන් කළේය. මාණ්ඩලික ප්‍රධානියා රට යාම වළක්වන්න අධිකරණ නියෝගයක් නැති බවද ඔහු කිසිදු ආකාරයකින් රටින් පලා ගොස් නැති බව ද ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා පැවසීය. එහෙත් කොටුව මහේස්ත්‍රාත්වරිය අගෝස්තු 29 වැනිදා එවැනි නියෝගයක් දුන් බව ජනාධිපති සම්බන්ධීකාරකයා අමතක කර තිබේ.

තරුණයන් 11 අතුරුදන් කරවීම

2008 අගෝස්තු 08 වෙනිදා සිට 2009 සැප්තැම්බර් මස 17 වෙනිදා අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුළු ස්ථාන කිහිපයකදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වමින් සිටී.

මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇති පිරිස අතර සිටින කොළඹ නගරය අවට තමිල් තරුණයන් 5 දෙනකු, 2008 සැප්තැම්බර් 17 ටාටා ඉන්ඩිකා වර්ගයේ රථයකින් පැමිණි නාවික හමුදා නිලධාරින් විසින් රැගෙන ගිය බවට සාක්ෂි ඇත. කොළඹ 13 බ්ලුමැන්ඩල් නිවාස සංකීර්ණයේ පදිංචි තිලකේශ්වරන් රාමලිංගම්(17), කොළඹ 13 වාසල පාරේ පදිංචි ප්‍රදීප් විශ්වන්තන්(18), කොළඹ 13 පදිංචි රජීව් නාගේන්ද්‍රන් (21), කොළඹ 10 දෙමටගොඩ පදිංචි මොහෙමඩ් සාදික්(21) සහ මරදානේ ජමාල්දින් ඩිලාන් එසේ පැහැරගෙන ගිය පස් දෙනොය. මොවුන්ට අමතරව කොටහේනේ කස්තුරිආරච්චි ජෝන් රීඩ්(21), ඇන්තනි කස්තුරිආරච්චි(48), ත්‍රිකුණාමලයේ කනගරාජා ජෙගන්(32), අරිප්පුහි අමලාන් ලියොන්(50) සහ ඔහුගේ පුත් රොෂාන්(21) මෙම නාවික හමුදා කණ්ඩායම විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට සැක කරනු ලබේ.

කොන්ක්‍රිට් සමග මුහුදේ ගිල්වූවෝ

මේ සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට කළ හෙළිදරව් කිරීමක්ද වේ. ඔහු ප්‍රකාශ කර ඇත්තේ නාවික හමුදාවේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් ඝාතනය කර ඇති බවට සැක කරන බවයි. මෙම පුද්ගලයන් පැහැරගෙන ගොස් ඇත්තේ ඔවුන් නිදහස් කරන බවට ඥාතින්ගෙන් කප්පම් ලබාගන්නට බවද කෙසේවෙතත් ඔවුන් ත්‍රිකුණාමලය ගන්සයිට් සිරකුටිවල සිරගත කර පසුව ඝාතනය කර ඇති බවත් කියනු ලැබේ. එම මළසිරුරු මුහුද මැදට ගෙන ගොස් විශාල කොන්ක්‍රිට් කැටවල ගැට ගසා මුහුදේ ගිල්වා දමන ලද බවට චෝදනා එල්ල වී තිබේ. මහින්ද රාජපක්ෂ පාලනය සමයේ මෙම කරුණ සම්න්ධව හිටපු නාවික හමුදාපතිවරයා අනාවරණය කිරීමෙන් පසුව විමර්ශන කටයුතු මන්දගාමී ආකාරයෙන් සිදුවූ බවටද ඝාතනයට පත් පුද්ගලයන්ගේ ඥාතින්ගෙන් චෝදනා නැගුණි.

කෙසේවෙතත් රාජපක්ෂ ආණ්ඩුව පරාජය වූ පසුව පරික්ෂණ අඩාල කිරීමට හෝ වේගවත් කිරීමට බලපෑම් සිදු නොවීය. අපරාධ පරීක්ෂණවලට අදාළව ‘නේවි සම්පත්’ හෙවත් හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවින්ද්‍ර විජේගුණරත්නට එරෙහිව චෝදනා නැගෙන්නේ ඔහු විසින් මේ හෙට්ටිආරච්චිට මැලේසියාවට පළා යන්නට ආධාර කළ බවටය. නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයකු බව කියන ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රි රවිරාජ ඝාතනයටද අවශ්‍ය සැකකරුවෙකි.

2008 සැප්තැම්බර් 17 වැනිදා පාසල් වයසේ දරුවන් 5 ක් ඇතුළු පුද්ගලයන් 11 ක් අතුරුදන් කරන ලදී. මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ නාවික හමුදා බුද්ධි අංශ සාමාජික නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි, හිටපු නාවික හමුදා ප්‍රකාශක ඩි.කේ. පී. දසනායක, නාවික හමුදා නිලධාරී සම්පත් මුණසිංහ ඇතුළු පිරිසකටය. 2017 වසරේ අගෝස්තු 12 වැනිදා නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩි.කේ.පි. දසනායක අත්අඩංගුවට පත්විය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා පළා යාම

පසුව සැප්තැම්බර් 11 වැනිදා අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට පැමිණ සාක්ෂි ලබා දෙන ලෙස එම දෙපාර්තමේන්තුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට දන්වා තිබුණේ ඔහුගේ සාක්ෂි අධිකරණය හමුවේ ගොනු කළ යුතු නිසාය. එහෙත් හමුදා මාණ්ඩලික ප්‍රධානියා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කැදවූ 11 වැනිදා මහ පාන්දරින් මෙක්සිකෝව බලා ගිය බව අනාවරණය විය. ඔහු විදේශගත වූයේ මෙක්සිකෝවේ නිදහස් දින උළෙලට ලංකාව නියෝජනය කරන්නට යැයි ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රකාශ කරන ලදී. ඇත්ත වශයෙන්ම මෙක්සිකෝවේ නිදහස් දිනය යෙදී ඇත්තේ සැප්තැම්බර් 11 වැනිදා නොව ඉන් දින 5කට පසුව 16 වැනිදාය. මේ අනුව රවින්ද්‍ර විජේගුණරත්න අපරාධයක් සම්බන්ධ ප්‍රකාශයක් ලබාදීම නොකොට රටින් පළා ගිය බව සනාථ විය.

මේ අතර අදාළ නඩුව සැප්තැම්බර් 12 යළි කැඳවූ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දීමක් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රිවිධ හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ශ්‍රී ලංකාවට පැමිණි පසු ප්‍රකාශයක් ලබාදෙන බව දන්වා ඇතැයි සඳහන් කළේය. ප්‍රකාශයක් ලබාගැනීම පිණිස ඔහුට පසුගිය 11 වැනි දින කැඳවා තිබු නමුත් එදින උදෑසන ඔහු නොදන්වා විදේශ ගතව තිබු බව අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ආරක්ෂක සමුළුවක් සඳහා විදේශ ගතවූ බවත් ලබන 19 වෙනිදායින් පසු ප්‍රකාශයක් දෙන බව අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙන බවද සඳහන් කළේය.

එසේ තිබියදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය 13 වැනිදා පැවති හදිසි කැබිනට් හමුවේදී ප්‍රකාශ කර සිටියේ ආරක්ෂක ඇමති ලෙස තමන්ද නොදැන හමුදා නිලධාරින් අත්අඩංගුවට ගන්නා බවය. අධිකරණයට අවශ්‍ය චූදිතයකු වසන් කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්වන්නේ කවරකු වුවද අත්අඩංගුවට ගන්නට අධිකරණ බලයක් ඇත. ඒ නිසා රවින්ද්‍ර විජේගුනරත්නගේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර හෝ ඔහු ජනාධිපතිවරයාගේ නිලධාරියකු වීම මත අත්අඩංගුවෙන් මුදා ගැනීම වරදකි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස අවුරුදු 65ක් වූ රවින්ද්‍ර විජේගුණරත්නගේ තනතුර දීර්ඝ කළේද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසිනි. ඔහු අධිකරණය මගහැර පළා ගිය පසුව ලංකාවට පැමිණි විගස යළි අත්අඩංගුවට ගැනීමට අපරාද පරික්ෂන නිලධාරින් සූදානම් වූ විට එයින් මුදා ගැනීමට මැදිහත් වී සිටින්නේ ජනාධිපති එනම් ආරක්ෂක ඇමතිවරයාමය. දැන් මේ කතාව කෙතරම් අපූරුද? මිනිසුන් 11 දෙනකු ඝාතනය කිරීමට චෝදනා ලැබුවකු විදේශයකට පන්නා හැරීමට උපකාර කළ බව කියන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම වළක්වා ඇත්තේ ආරක්ෂක ඇමතිකම දරන ජනාධිපතිවරයාමය. කලක් ග්‍රාමසේවක තනතුරක්ද දැරූ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන්, අපරාධ සැකකරුවකු නීතියේ හස්තයෙන් ආරක්ෂා කරන්නට උපකාර කළ බවට චෝදනා ලද රවින්ද්‍ර විජේගුණරත්න නිදැල්ලේය.

මේ කියන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න හිටපු නාවික හමුදා ප්‍රධානියා බවද ඔහු හම්බන්තොට වරායේ පැවති විරෝධතාවකදී කොට කලිසමකින් සැරසී පැමිණ මාධ්‍යවේදියකුට පහර දුන් බවද ඒ සම්බන්ධයෙන් කිසිදු අධිකරණයක නීති කටයුත්තක් පැන නොනැගි බවද ‘ලංකාවීව්ස්‘ සහෘදයන්ට සිහිපත් කරමු.

Chandana Sirimalwatte :