උතුරු ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 18,585 කට අයත් පුද්ගලයන් 60,345 දෙනෙකු පීඩාවට පත්ව සිටි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ගංවතුර තර්ජනය හේතුවෙන් කිලිනොච්චි, මුලතිව්, මන්නාරම්, වව්නියාව සහ යාපනය යන දිස්ත‍්‍රික්කවල විපතට පත්ව පීඩාවිඳින ජනතාව අතරින් පුද්ගලයන් 10332 ක් ආරක්ෂිත කඳවුරු 34 ක් තුළ රඳවා ඇති බවයි.
ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස 10 ක් පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති අතර නිවාස 224 ට අර්ධ හානි සිදුව තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දෙසැම්බර් 24 සඳුදා පෙරවරුවේ නිකුත් කර තිබෙන තත්ත්ව වාර්තාවට අනුව ගංවතුර තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කිළිනොච්චි දිස්ත්‍රික්කයටයි.
එම දිස්ත්‍රික්කයේ පවුල් 11688 ට අයත් පුද්ගලයන් 38534ක් පීඩාවට පත්ව සිටි. අර්ධ හානියට පත් නිවාස 224 න් නිවාස 221 ක් ම එම දිස්ත්‍රික්කයට අයත්ය.
දෙවන වැඩිම හානිය වාර්තා වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙනි. එහි පවුල් 6520 ට අයත් පුද්ගලයන් 20737ක් පීඩාවට පත්ව සිටි.
මන්නාරම දිස්ත්‍රික්යේ පවුල් 27 ට අයත් පුද්ගලයන් 85ක් පීඩාවට ලක් ව සිටින අතර වව්නියාව දිස්ත්‍රික්කයේ පවුල් 77 ට අයත් පුද්ගලයන් 281ක් පීඩාවට පත්ව ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරන පරිදි යාපනය දිස්ත්‍රික්කය තුළ ද පවුල් 273ට අයත් පුද්ගලයන් 708ක් පීඩාවට පත්ව සිටී.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ උතුරු පළාතේ දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි ඇති විය හැකි බවයි.