Posted on 09.18.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
එළැඹෙන 24 වනදා මධ්‍යම රාත්‍රියේ සිට කෙටිදුර බස්රථ සහ අන්තර් පළාත් බස්රථ ධාවනයෙන් ඉවත් කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය පවසයි.
තමන් විසින් ඉල්ලා සිටි ඉන්ධන සහන ලබා නොදෙන්නේ නම් මේ ආකාරයට බස්රථ සේවා අඩාල කරන බවත් කිසිදු බස්රථයක් ධාවනයට ඉඩ නොතබන බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ සභාපති අංජන ප්‍රියන්ජිත් ආණ්ඩුවට අනතුරු ඇගවීය. කෙටිදුර බස්රථයකින් දෛනිකව රු. 1500ක් පමණද දිගු දුර ධාවන බස් රියකින් රු 3000 පමණ වන පාඩුවක් සිදුවන බව පවසන ඔහු 10% ගාස්තු සංහෝධනයක් අවශ්‍ය බව පවසයි. ආණ්ඩුව විසින් ඉන්ධන ලීටරයකින් රු. 78ක බදු මුදලක් අයකරගන්නා නමුත් ජනතාවට සහන නොදෙන බව පවසමින් ඔහු පාලකයන්ට දෝෂාරෝපණය කළේය.
කෙසේවෙතත් අංජන ප්‍රියන්ජිත්ට එකදු බස් රථයක් ධාවනයේ යෙදවීමේ බලපත්‍ර නැතිව බස්හිමියකු ලෙස කටයුතු කරන්නේ නෙසේද යන්න ප්‍රශ්නයක් බව පෞද්ලික බස්රථ සම්මේලනයේ සභාපති ගැමුනු විජේරත්න පවසයි. බස්හිමියන්ට සහන ඉල්ලීම ගැන ආණ්ඩුවේ පිළිතුර අපේක්ෂා කරනවා නම් බස්රථ ධාවනයෙන් ඉවත්කරන තර්ජනයන් ඇයිද යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.
මේ අතර ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු ඉහල දැමිය යුතු බවට සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය කළ ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද (17) දින පස්වරුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය. අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේ ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ යාමත් සමගම සමස්ථ ලංකා බස් හිමියන්ගේ සංගමය 10% කින් බස් ගාස්තු වැඩිවිය යුතු බවට තමාගෙන් ද ඉල්ලීමක් කර ඇති බවයි. ඇමතිවරයා කීවේ බස් ගාස්තු වැඩි කිරීම පිළිබදව අවසාන තීරණය ගත යුතු වන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් බවද බස් ගාස්තු ඉහල දැමිය යුතු ද යන්න අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම සදහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් වාර්තාවක් සකස් කරන බව ද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. මේ පිළිබදව 19 වන දින පෙරවරු 09.00 ට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ නිළධාරීන් හා බස් හිමියන් සමඟ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.