Posted on 12.28.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ජනාධිපතිවරයාට උපදෙස් දෙන ප්‍රබල අදෘෂ්‍යමාන බලවේගයක් සිටින බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන පවසයි. ඔහු ඒ බව පවසා තිබුණේ සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් වන අතර මීට පෙර රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් ද ඇමතිවරයා පවසා තිබුණේ ආණ්ඩුවේ නිලධාරී මාෆියාවක් පවතින බවයි.
එසේම වත්මන් රජයට ප්‍රශස්ති කියමින් සිටියහොත් එය අගාධයට වැටෙනා තුරුම දන්නේ නැතිව යනු ඇති බවත් 2015 යහපාලන රජයට සිදුවුණේ ද එයම බවත් වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මෙහිදී පවසා ඇත.
සතොස සීනි සහ පොල්තෙල් බදු වංචාව හෙළිවීමෙන් පසු රට තුළ ඇති වූ ආන්දෝලනයත් සමග බන්දුල ගුණවර්ධන ඇමතිවරයා යම් ප්‍රමාණයකට ජනාධිපතිවරයා සහ ඒ වටා සිටින පිරිස් සම්බන්ධයෙන් විවේචනාත්මක මත පල කිරීමට පටන්ගෙන තිබේ.
එහි එක් අවස්ථාවක් වශයෙන් ජනාධිපතිවරයාට උපදෙස් දෙන අදෘෂ්‍යමාන බලවේග සිටිනවා යැයි පැවසීම දැක්විය හැක.
මහජන ඡන්දයෙන් රාජ්‍ය පාලනය සඳහා තේරී පත්වන තමන් ඇතුළු මහජන නියෝජිතයින්ට ලැබෙන අමාත්‍ය ධුර, ආයතන සහ වගකීම් පිළිබඳව මේ වනවිට තීන්දු ගනු ලබන්නේ ඊට පිටින් සිටින නිලධාරීන් කිහිප දෙනෙකු විසින් බවට බන්දුල ගුණවර්ධන චෝදනා කරමින් සිටියි.
මෙම පුවත්පත් සාකච්ඡාවේදී “මම වෙළඳ ඇමතිවුනාට ආර්ථික මධ්‍යස්ථාන මට නැහැ. වෙළඳ ඇමතිට අදාල විශයයන් ඉවත් කරලා.” “නායකයන්ට ප්‍රසස්ති ගයන වන්දිබට්ටකම් කරන ආවතේවකම් කරන ‘අපේ ලොවට පායන හිරුද සඳුද ඔබය’ කියලා කියන වලල්ලක් තියෙනවා.” “අයවැය ලේඛනයෙන් අමාත්‍යාංශයට මුදල් වෙන් කිරීම ගැන ඇහුවේ මගෙන් නෙවෙයි. අමාත්‍යංශ ලේකම්ගෙන්. මා එක්ක කිසිම සාකච්ඡාවක් කළේ නැහැ.” වැනි විවේචනාත්මක ප්‍රකාශ සිදුකර තිබුණි.
බන්දුල ගුණවර්ධන මෙලෙස ප්‍රදර්ශනය කරමින් සිටින්නේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරගේ ක්‍රියාකලාපය පිළිබඳව ඔහු තුළ පවතින දැඩි කළකිරීම බව පෙනෙන්නට තිබේ.