Posted on 09.21.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මෙරට පාරිභෝගිකයන්ට සහල් සැපයුම ස්ථාවරව තබාගෙන මිල ඉහළ යාමේ අවදානම වැළැක්වීම සඳහා සහල් ආනයනය කරන බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන ඇමතිවරයා පැවසුවද සමග එවැනි හාල් හියක් ඇතිවන්නට ඉඩක් නැති බව මහවැලි හා ජනාවාස යටිතල පහසුකම් රාජ්‍ය ඇමති සිරිපාල ගම්ලත් පවසයි.
පසුගිය 18 වැනිදා කුඩා හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන්ගේ හමුවක් අවසානයේ වෙළඳ ඇමතිවරයා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ සහල් හිඟයක් ඇතිකර මිල ඉහළ නැංවීමේ අරමුණු වැළැක්වීමට සහල් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමේ අදහසක් ඇති බවය. මෙම ප්‍රකාශයෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සිරිපාල ගම්ලත් රාජ්‍ය ඇමතිවරයා මෙරට සහල් හිගයක් ඇතිවන්නට හේතුවක් දැනට නොමැති බව පවසා ඇත.
මෙරට විශාල පරිමාණ සහල් ව්‍යාපාරිකයන් පිරිසක් විසින් සහල් මා්ෆියාවක් ක්‍රියාත්මක කරමින් සහල් වෙළඳපොළ පාලනය කරන බවද මිල මට්ටම් වාසිදායක ලෙස පවත්වාගැනීමට වරින්වර සහල් හිගයක් ඇති කිරීම හෝ සහල් නිකුත් කිරීමේ පියවර ඔවුන් ගන්නා බවට ගොවි සංවිධාන චෝදනා කරති.
මෙම සහල් ව්‍යාපාරිකයන් අතර ප්රබලතම ව්‍යාපාරිකයන් අතර රාජ්‍ය ඇමති සිරිපාල ගම්ලත්ද සිටී. ඔහුගේ සහෝදරයා මෙන්ම ඥාති සහෝදරයකුද එම මහා පිරිමාණ සහල් ව්‍යාපාරයේ කොටස්කරුවන්ය. එසේම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සහෝදරයා වන ඩඩ්ලි සිරිසේන සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂගේ සමීපතමයකුවන එල්.ජේ.මිත්රපාලද සහල් ව්‍යාපාරිකයන් අතර බලවතෙකි.