Posted on 02.20.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
චීන ජාතික කම්කරුවකු විසින් මෙරට කම්කරුවකුට අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් පහරකෑමට ලක්වූ මෙරට කම්කරුවා හොරණ රෝහලට ඇතුළත් කර ඇත.
පහරදීම සිදු කළ චීන ජාතික කම්කරුවා ආයතනයේ පරිපාලනය විසින් පොලිසියට ඉදිරිපත් නොකර සඟවා ගෙන සිටින බව වාර්තා වේ.
පෙබරවාරි 18 වැනිදා පෙ.ව. 10.00ට පමණ ඉංගිරිය කර්මාන්ත කලාපයේ ‘ලීසන් ලංකා’ සමාගමේ ලී කපන යන්ත්රයක සේවය කළ චීන ජාතික කම්කරුවකු විසින් එම යන්ත්රයේ සේවය කළ කම්කරුවාට පහර දී ඇති අතර පහරකෑමට ලක් වූ කම්කරුවා ඒ පිළිබඳව ආයතනයේ පරිපාලනයට පැමිණිලි කර තිබේ.
එම අවස්ථාව වන ‘ලීසන් ලංකා’ ආයතනයේ අධ්යක්ෂවරයාද ආයතන පරිශ්රය තුළ සිට ඇති අතර ඔහු ඇතුළු නිලධාරීන් පිරිසක් පහරදීම සිදුකළ ස්ථානයට ගොස් තිබේ. එහිදී සිය සහායකයා තමන්ට එරෙහිව පැමිණිලි කිරීම සම්බන්ධයෙන් කුපිත වූ චීන ජාතික කම්කරුවා විසින් ආයතනයේ අධ්යක්ෂවරයා ඇතුළු නිලධාරීන් ඉදිරියේම සහායකයාට බිම පෙරළා ගෙන පහරදී ඇත.
අමානුෂික ලෙස පහරදීම නිසා තුවාල ලැබූ කම්කරුවා මේ වන විට හොරණ රෝහලට ඇතුළත් කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඒකාබද්ධ ලීසන් ලංකා සේවක සංගමය විසින් පානදුර කම්කරු කාර්යාලයට පැමිණිලි කර තිබේ. සිද්ධිය පිළිබඳව හොරණ සහ ඉංගිරිය පොලිසිවලටද පැමිණිලි ඉදිරිපත් කර ඇත. පහරදීම සිදු කළ චීන ජාතික කම්කරුවා මේ වන විට ආයතනයේ පරිපාලනය විසින් සඟවාගෙන සිටින බව කම්කරුවෝ පවසති.