ජාතික ආණ්ඩුවක් ලෙස යම් එකගතාවක් ඇතිකර ගන්නේ නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්වන ආණ්ඩුවකට හැර ඇමතිධූර වැඩිකර ගැනීමට දරන කිසිදු උත්සාහයකට දෙමළ ජාතික සන්ධානය සහාය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසයි.
ඇමතිධූර වැඩිකර ගැනීමට පෙරාතුව ගත් උත්සහායටද දෙමළ ජාතික සන්ධානය එරෙහි වූ බවත් ජාතික ආණ්ඩුවක් කියමින් අමාත්‍යධූරයන් වැඩිකර ගැනීමට ගෙන යන වත්මන් ක්‍රියාදාමයටද තම සන්ධානය එරෙහි බවත් සුමන්තිරන් මන්ත්‍රිවරයා මාධ්‍ය අමතා පවසා සිටියේය. දෙමළ ජාතික සන්ධානය සිටින්නේද ජාතික ආණ්ඩුවක් රට තුළ පැවතිය යුතුයි යන්න ස්ථාවරයේ බවත් ව්‍යවස්ථාමය තීන්දු තීරණ ගැනීම සදහා ප්‍රධාන පක්ෂ දෙකම එක්වී ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, දෙමළ ජාතික සන්ධානයේ පූර්ණ සහාය ලබා දෙන බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය.
මේ වනවිට ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය සමග එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව තුළ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන ඉලක්ක අවදානමට ලක්විය හැකි බවට දේශපාලන ක්ෂේත්‍රයේ අදහස් පළ වී ඇත.