Posted on 02.22.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් විදේශ විනිමය අර්බුදයෙන් ගැලවීමට ප්‍රායෝගික විසඳුමක් වශයෙන් ආණ්ඩුව වෙත ඉදිරිපත් කර ඇති ‘ස්වර්ණමය පාරාදීසය’ ජනාධිපතිවරයා විසින් අනුමත කර තිබේ.
ස්වර්ණමය පාරාදීසය වැඩසටහන (Golden Paradise Programme) නමැති මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා සතියක් ඇතුළත අවශ්‍ය විධිවිධාන සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් සිය කාර්ය මණ්ඩලයට හා මුදල් ඇමතිවරයාට උපදෙස් දී ඇත.
විදේශිකයන්ට ලංකාවේ නේවාසික බලපත්‍ර ලබාදීමට යෝජිත මෙම වැඩසටහන ඔස්සේ නේවාසිකභාවය ලබාගැනීමට අපේක්ෂා කරන විදේශිකයකු මුලින්ම මෙරට බැංකු ගිණුමක් ආරම්භ කර ඇමරිකානු ඩොලර් 100,000 ක මුදලක් එහි තැන්පත් කළ යුතු වේ. එයින් වසරකට පසු අදාළ පුද්ගලයාට එම මුදලින් ඇමරිකානු ඩොලර් 50,000ක් දක්වා මුදලක් ආපසු ගතහැකි අතර දෙවැනි වසරේ සිට ඉදිරියට ඔහු හෝ ඇය මෙරට රැඳී සිටින සම්පූර්ණ කාලය තුළ අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 50,000 ක ශේෂයක් එම ගිණුමෙහි පවත්වාගෙන යා යුතු බව ධම්මික පෙරේරා යෝජනා කර ඇත.
මෙම වැඩසටහන හරහා විදේශිකයන් 50,000ක් මෙරටට ගෙන්වාගත හැකි නම් එක් අයෙකු ඇමරිකානු ඩොලර් 100,000 බැගින් කරන තැන්පතු හරහා ඇමරිකානු ඩොලර් බිලියන 05ක විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට හැකි බවට පුරොකථනය කර ඇත. තවද මාසික ආදායම ඇමරිකානු ඩොලර් 2,000 ට වැඩි, වයස අවුරුදු 60 ඉක්මවූ විදේශිකයන් සඳහා වසර 10ක වීසා බලපත්‍ර නිකුත් කිරීමට ද ධම්මික පෙරේරා සිය වැඩසටහන මගින් යෝජනා කර තිබේ.
මෙරට දිගු කාලීනව නේවාසිකව සිටින විදේශිකයන් විශාල පිරිසක් මේ වනවිටත් රට තුළ සිටී. ඒ ආකාරයෙන් මෙරට දේශගුණය ආදී විවිධ හේතූන් මත මෙරටට ආකර්ෂණය වන විදේශිකයින්ට නේවාසික බලපත් ලබාගැනීම සඳහා පහසුකම් සලසන අතරේම ලංකාවෙහි විදේශ විනිමය අර්බුදයට ද විසඳුම් ලබාගන්නට ආණ්ඩුව මේ ආකාරයෙන් සූදානම් වන බව පෙනේ. සිය පාලන කාලය තුළ අවසානයක් දැකිය නොහැකි අර්බුදයක් ජනිත කරමින් මතුව ඇති මෙම විදේශ විනිමය හිගය පියවා ගන්නට ආණ්ඩුව පිදුරු ගහේ පවා එල්ලෙන්නට සූදානම් බව ඒ අනුව පෙනී යයි.