தமிழ்
English
Contact
Wednesday 25th May 2022    
මහබැංකුවේ ප්‍රතිපත්ති තීරණ ගැන දේශපාලන ඇසින් බලන්න එපා - මහබැංකුවෙ අධිපති කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහබැංකුවේ ප්‍රතිපත්ති තීරණ ගැන දේශපාලන ඇසින් බලන්න එපා – මහබැංකුවෙ අධිපති කියයි



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලබන යහපත් ප්‍රතිපත්තිමය තීරණවලදී පක්ෂ භේදයකින් තොරව සහය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉල්ලා ඇත.

ඔහු මේ ඉල්ලීම සිදුකර ඇත්තේ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව විමසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවූ අවස්ථාවේදීය.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අද(25) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පෙරවරුවේ රැස්වූයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙනි.

රාජ්‍ය ණය සීමාව රුපියල් ට්‍රිලියනයක් දක්වා වැඩි කිරීම සඳහා වන යෝජනාවටද කාරක සභාවේ අනුමතිය මෙහිදී ලැබිණ.

මේ වන විට රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසඳමින් මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ සහා අදාළ ඉදිරි ගමන් මග පිළිබද පූර්ණ වාර්තාවක් වහාම ලබාදෙන ලෙස කාරක සභාව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට දැනුම් දෙන ලදී. එහිදී අදහස් දක්වමින් වත්මන් අසීරු ආර්ථික තත්වය තුළ පවතින සැබෑ යථාර්ථය නොසගවා ජනතාවට පවසා දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරය සදහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ සදහා පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙසද මහ බැංකු අධිපතිවරයා ඉල්ලීමක් කර තිබේ.

මීට පෙර ඉන්ධන මිල සූත්‍රයක් හදුන්වා දුන් අවස්ථාවේදී ඊට එල්ලවූ විරෝධය හමුවේ එය ‍ක්‍රියාවේ යෙදවීමට නොහැකි වුවත් අද එය නැවත හඳුන්වා දීමට සිදුවී ඇති බව පෙන්වා දුන් ආචාරය් නන්දලාල්, ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති සදහා වෙන් කළ ඇ.ඩො මිලියන 600 ක මුදලක් ඉදිරි කාලය සදහා ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා යෙදවීමට සිදුවනු ඇති බවයි. මේ වනවිට, විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ලිට්‍රෝ ගෑස් වැනි ආයතන අධික ලෙස පාඩු ලැබීම හේතුවෙන් ඩොලර් මිලදී ගැනීමට එම ආයතන සතුව රුපියල් නොමැතිවීමද බලවත් ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා මේවනවිට පැවැත්වෙන බවත් එම සාකච්ඡා සාර්ථක කර ගනිමින්, ණය ප්‍රතිව්‍යුහත කිරීම සහ අදාළ අයි.එම්.එෆ් ගිවිසුම් ගතවීම දක්වා ගතවන ඉදිරි මාස 3-4 ක කාලය අභියෝගාත්මක බව පැවසූ හෙතෙම ඒ සදහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.

මහබැංකුවේ අධිපතිවරයා පවසන ආකාරයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වී මෙරට ආර්ථිකය සම්බන්ධ වර්ධනයක් අපේක්ෂා කිරීමට නම්, රැකියා අයිතිය, වැටුප් හා සේවක අයිතිවාසිකම් පමණක් නොව සුබසාධන ආදිය කප්පාදුවද ඉදිරියේදී විරෝධයකින් තොරව භාරගන්නට සිදුවනු ඇති බව දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහසයි. මහබැංකු අධිපතිවරයා උපුටා දක්වමින් ඉදිරියෙදී රැකියා කප්පාදුවක් සිදුවන බවට මේ වනවිටත් මාධ්‍ය වාර්තා පළ වෙමින් තිබේ.