Posted on 07.12.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ආන්දෝලනාත්මක කතාබහකට ලක් වීම හේතුවෙන් වැඩකටයුතු අතරමඟ නවතා දැමූ තිස්සමහාරාම වැවේ වැලි සහ රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය අද(12) සිට නැවත ක්‍රියාත්මක කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනුමැතිය දී තිබේ.
පුරාවිද්‍යා නිලධාරින් සිදු කළ ස්ථානීය පරීක්ෂණයෙන් අනතුරුව මෙම ව්‍යාපෘතියෙන් වැවට සහ අවට පරිසරයට හානියක් සිදු නොවන බවට තහවුරු කරගැනීම හේතුවෙන් මෙලෙස අනුමැතිය දුන් බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග පවසා ඇත.
චීන – ශ්‍රී ලංකා හවුල් සමාගමක් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ අතර ව්‍යාපෘති භූමියේ යුද ඇඳුමකට සමාන ඇඳුම්වලින් සැරසුණු සේවකයන් දක්නට ලැබීම පිළිබඳ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවිය. එසේම පුරාවිද්‍යාත්මක සහ පාරිසරික වටිනාකමකින් යුතු මෙම ප්‍රදේශයේ මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම ගැටලුසහගත බවට විශේෂඥයන් මත පළකර තිබුණි. පසුව ව්‍යාපෘතිය අතරමඟ නවතා දැමීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නියෝග කර තිබුණි.
දැනට වාචික අනුමැතිය ලබාදී ඇති බවත් ඉදිරි දින කිහිපයේ මේ සඳහා වන ලිඛිත අනුමැතිය ලබාදීමට නියමිත බවත් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා පවසා ඇත.