Posted on 06.28.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
උතුරු චීනයෙන් නූතන මිනිසාගේ සමීපතම පූර්ව මානවයකු ලෙස සැළකිය හැකි වඳවී ගිය මානව විශේෂයක ඇට කටු හමුවූ බව පුරාවිද්‍යාඥයෝ කියති.
මේ හිස්කබල පිළිබඳ පරීක්ෂණ කළ පුරාවිද්‍යාඥයන් විසින් එය, වසර 146,000 කට පමණ පෙර ජීවත් වූ මානව පරිණාමයේ මෙතෙක් සොයා නොගත් මානවයෙකුට අයත් හිස්කබලක් ලෙස හඳුන්වා දී ඇත. හෙබෙයි තාක්ෂණ හා පර්යේෂණ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මේ හිස්කබල පිළිබඳ අධ්‍යයනය කර මේ නව මානව විශේෂය Homo longiලෙස (මැන්ඩරින් භාෂාවෙන් ‘මකර මිනිසා’ යන අරුත සහිතව ) නම්කර ඇත.
වර්තමාන මිනිසාගේ සමීපතමයා වන හෝමෝ සේපියන්ස් මානවයාගේ සමාන්තර මානව කන්ඩායම ලෙස සැළකෙන හෝමෝ නියැන්ඩර්තාල්වරුන්ට වඩා මොවුන් නූතන මිනිසාට ආසන්න ලක්ෂණ දරණ බව පර්යේෂකයන් පවසන අතර ඊට විරුද්ධ අදහස් දරණ පිරිසක් පවසන්නේ මෙම හිස්කබල ‘ඩෙනිසෝවරු’ ලෙස හඳුන්වන සයිබීරියාවේ කඳුකර ගුහාවක තිබී සොයාගන්නා ලද මානවයන්ගේම හිස්කබලක් විය හැකි බවයි.
චීන පර්යේෂක කන්ඩායම් විසින් මේ හිස්කබල හඳුනාගැනීමට හිස්කබලේ සියුම් කොටස්වල දිග පළල අස්ථි ඝනකම, දත්වල ස්වභාවය ආදි වශයෙන් ලක්ෂණ 600කට වැඩි ප්‍රමාණයක් අනුව, වෙනත් හඳුනාගත් මානව විශේෂයන්ගේ හිස්කබලවල ගති ලක්ෂණ හා සන්සන්දනය කර ඇත.
මේ හිස් කබලෙහි මොළය නූතන මිනිසාට බොහෝ සෙයින් සමාන කළ හැකි කපාළ ධාරිතාවකින් යුතු වුවද නූතන මිනිසාට වඩා විශාල අක්ෂි කුහර, ඇස් වැටි, පුළුල් මුඛයක් සහ විශාල හනු පිහිටා තිබූ බැවින් හිස්කබලේ හිමිකරුවා හෝමෝ සේපියන්ස් මානවයකු නොවන බව තහවුරු කෙරිණි.
මීට වසර 90කට පමණ පෙර උතුරු චීනය අල්ලාගෙන සිටි ජපන් හමුදාවේ සොල්දාදුවන් පිරිසක් විසින් හාර්බින්හි සොන්ගුවා ගංඟාව හරහා පාලමක් තැනීමේ දී එම කාර්යට යොදාගෙන සිටි චීන ජාතිකයකුට මෙම හිස්කබල හමුවී තිබේ. ජපන් සොල්දාදුවන් එය දකිනු ඇතැයි සිත එය වැළැක්වීම පිනිස ඔහු එම හිස්කබල ළිඳක සඟවා ඇත. කාලය විසින් සියල්ල යටපත් කළද පසුකාලයකදී මහළු වියට පත් වූ පසු එම චීන ජාතිකයා විසින් තම මුණුපුරන්ට මේ පිළිබඳ පැවසීමෙන් අනතුරුව එම ස්ථානයෙන් හිස් කබල ගොඩට ගෙන හෙබෙයි විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා කෞතුකාගාරයට පරිත්‍යාග කර තිබේ. නමුත් චීන ජාතිකයා මියයාමට පෙර එම හිස්කබල හමුවූ ස්ථානය කිසිවකුටවත් නිශ්චිත ලෙස පෙන්වා නොතිබීම නිසා මෙම හිස්කබලේ භූ විද්‍යාත්මක සන්දර්භය පිළිබඳ ගැටලුවක් මතු වී තිබේ.
(මූලාශ්‍ර පුවත – BBC)