Posted on 06.23.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
තිස්සමහාරාමයේ පිහිටි තිස්ස වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවල නිරතව සිටින හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳගත් චීන ජාතිකයින් පිරිසක් සම්බන්දයෙන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.
තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩකටයුතු පසුගිය 21වනදා ආරම්භ වී තිබුනේ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීමට ලංකා රජය චීන රජයේ සහයෝගය හිමිව තිබෙන බවත් ඒ සඳහා මුදල් ලබා දීම වෙනුවට රොන් මඩ විකුණා ගැනීමට අවස්ථාව ලබාදී ඇති බව එහිදී අමාත්‍යවරයා පවසා තිබුණි.
නමුත් මෙම සමාරම්භක උත්සවයේ වීඩියෝවල දැක්වෙන පරිදි හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳගත් සේවකයන් පිරිසක් එම ස්ථානයේ සේවය කරන බවයි.
මෙම පුවත මාධ්‍ය හරහා විකාශය කිරීමත් සමඟ මේ සම්බන්දයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙරට චීන තානාපති කාර්යාලය එම ප්‍රවෘත්තිය වාර්තා කළ මාධ්‍ය ආයතන ප්‍රශ්න කර තිබේ.
අදාළ ට්විටර් පණිවුඩය මගින් තානාපති කාර්යාලය ප්‍රශ්න කර ඇත්තේ තොරතුරු සත්‍යාපනය සහ කරුණු පරීක්ෂා කිරීම මාධ්‍යකරණයේ තිබිය යුතු අනිවාර්ය කරුණක් නොවන්නේද යන්නයි.
ඒ සමඟ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන චීන ජාතික ජැක් මා ට අයත් Alibaba.com වෙබ් අඩවිය උපුටා දක්වමින් තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ එවැනි කැලෑ හමුදා ඇඳුම් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමටද ඇති බවයි.
මෙම ට්වීටර් පණිවිඩයට ප්‍රතිචාර දක්වමින් සිරස ආයතනය පවසා ඇත්තේ ලංකාව තුළ හමුදාවේ සේවය කරන කෙනෙකු හැර ‘කැමා’ වර්ගයේ ඇඳුම් ඇඳ සිටීම නීති විරෝධී බවයි.