බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරිමේ සිද්ධියක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට කොළඹ රථවාහන මහේස්ත්‍රාත්වරයා අද (01) නියම කළේය.
දිමුත්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවීමටත් නුගේගොඩ වෛද්‍ය ආයතනයට යොමු කර වාර්තාවක් කැඳවන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.
ඉකුත් (30) වැනි දා රිය අනතුරක් සම්බන්ධයෙන් දිමුත් කරුණාරත්නව අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර අද දින කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින නියෝග කර තිබුණි.
දිමුත් කරුණාරත්නට පොලිස් ඇප ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබේ.
බීමතින් රිය පදවා අනතුරක් කිරීම සහ අනතුරට ලක්වූ තැනැත්තා රෝහල් ගත වී සිටීම සැලකිල්ලට ගෙන ඔහුට පොලිස් ඇප ලබා නොදී අධිකරණයට ඉදිරිපත් කළා නම් වඩාත් හොඳ යැයි පොලිස් ප්‍රකාශක රුවන් ගුණසේකර පවසා තිබුණි.
පොලිස් ඇප ලබා දෙද්දී රථවාහන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දැනුම්වත් කර නොමැති බව ද පොලිසිය පවසයි.
අනතුරට ලක්වූ තැනැත්තා වැඩිදුර විමර්ශන අවශ්‍ය නැති බවට ප්‍රකාශයක් ලබාදී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.