Posted on 11.01.2019 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ප්‍රවීන රංගන ශිල්පිනියක ලෙස වේදිකාවේ හා සිනමා ප්‍රේක්ෂාගාරයේ සහ, රූපවාහිනියේ ප්‍රතිභාව දැක්වූ චන්ද්‍රා කලුආරච්චි දිවියෙන් සමුගෙන තිබේ.
දීර්ඝ කාලයක් සිනමාවේ, වේදිකාවේ මෙන්ම ආරම්භක අවස්ථාවේ සිට රූපවාහිනි රංගනයේ දායකත්වය සැපයූ ඇය මිය යන විට 76 වියේ පසුවූ එක්දරු මවක් වූවාය. ප්‍රවීන සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකරගේ ජීවන සහකාරියද වූ ඇය කලා ශිල්පිනී මා විජේසේකරගේ මව වූවාය.
ප්‍රේම රංජිත් තිලකරත්න නිෂ්පාදනය කර 1964 වසරේ දී වේදිකාගතවූ ‘වහලක් නැති ගෙයක්’ නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් ඇය ‘එරබදු මල් පිපිලා’, ‘කැළණි පාලම’ ඇතුළු නාට්‍ය රැසක රඟ පැවාය. එසේම සිමාවේ දහසක් සිතුවිලි, මොකද වුණේ, රොමියෝ ජුලියට්, ලක්සෙට කොඩිය, තුං මංහන්දිය, වැලි කතර, සිංගප්පූරු චාලි, මාතර ආච්චි, හත්දින්නත්තරු, සිහසුන, ජීවන ගංගා, දිනුම් කණුව, සිරිල් මල්ලී, ආශා වසන්තයේ දවසක්, පාරදිගේ, දඬු මොනර, ආරාධනා, පවුරු වළලු, සෙයිලම ඇතුළු චිත්‍රපට ගණනාවක ඇය විසින් විවිධ චරිත නිරූපණය කරමින් රංග ප්‍රතිභාව ප්‍රකට කළාය. කෙසේවෙතත් වයෝවෘද්ධ අවදියේ වඩාත් අම්මාගේ චරිතය රඟපෑමෙන් ප්‍රේක්ෂක ප්‍රසාදයට පත්වුවද රංග ජීවිතයේ සමත්කම් දැක්වීමට ප්‍රමාණවත් චරිත එහිදී ඇයට හිමි නොවූ බවට අදහස් පළ විය..
පසු කලෙක රූපවාහිනි මාධ්‍ය පැමිණීමත් සමග ටෙලි නාට්‍ය රංගනයට ද පිවිසි ඇය නාට්‍ය ගණනාවක හඬකැවීම් ශිල්පිනියක් ලෙස ද කටයුතු කර ඇත.
චන්ද්‍රා කලුආරච්චි කලාකාරිනියගේ දේහය ගල්කිස්ස, කලාපුරයේ අංක 140/31/s නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.