පාර්ලිමේන්තුවේ ප්‍රචණ්ඩත්වය ගැන චෝදනා ලැබූ පුංචි නිළමේ කථානායකට චෝදනා කරයි!

පසුගිය නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්කාරි තත්වය අවස්ථාවේදී කථානායක කරු ජයසූරිය නිසි වගකීමකින් ක්‍රියා නොකළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචිනිලමේ ‘මව්බිම’ පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

තමා කථානායක සම්බන්ධයෙන් කරණ චෝදනාවට සාක්ෂ්‍ය ලෙස වීඩියෝ පටයක් ඇති බවද මන්ත්‍රිවරයා පවසයි. මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමකට අනුව තමා පසුගිය සිකුරාදා එහි ගොස් කථානායකවරයා නිසි වගකීමකින් ක්‍රියා නොකිරීම පිළිබඳව පැය 3කට ආසන්න කාලයක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන් බවද සුසන්ත පුංචිනිලමේ සඳහන් කළේය.

ඒ වනවිට පැවැති රාජපක්ෂ අගමැතිවරයාගේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත්,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා සම්ප්‍රදායට පටහැනි වූ එම යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයා ඒක පාර්ශ්වීය ලෙස ක්‍රියාකිරීම නිසා එවකට පැවැති ආණ්ඩු පක්ෂය ඊට විරෝධය පළ කළ බවද මන්ත්‍රි පුංචි නිළමේ පවසයි. එහෙත් කථානායක ඊට ඇහුම්කන් නොදීම නිසා මෙම නොසන්සුන්කාරි තත්වයක් ඇති වූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචිනිලමේ කියා සිටී.

Chandana Sirimalwatte :