Posted on 04.21.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාර අටක් එල්ල කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ආධාරකරුවන්ට එරෙහිව නුදුරේදීම අධිචෝදනා ගොනු කරන බව නීතිපතිවරයා ඊයේ (20) සඳහන් කර තිබේ. බෝම්බ ප්‍රහාර 8 ට සම්බන්ධව අධි චෝදනා පත්‍ර 8ක් සහ 2019 අප්‍රේල් 16 වන දින කාත්තන්කුඩි ප්‍රදේශයේ පිපිරීමට අදාළ අධි චෝදනා පත්‍රයත්, වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය ගබඩාවක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අධි චෝදනා පත්‍රයක් ද ඇතුළුව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු චූදිතයන්ට අධි චෝදනා ගොනු කිරීමට සියලු කටයුතු සම්පාදනය කර ඇති බව නීතිපතිවරයා පවසා ඇත.
පාස්කු ප්‍රහාරය සිදු කිරීමට අදාළව 2016 වර්ෂයේ සිට ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ මොහොමඩ් සහරාන් සමඟ කුමන්ත්‍රණය කළ සියලු ආධාරකරුවන්ට නඩු පැවරීමට කටයුතු කරන බවත්, මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (20) කෑගල්ල උසාවියේ අධි චෝදනා ගොනු කළ බවත් නීතිපතිවරයා සඳහන් කර ඇත.
ඊට අදාළව අධි චෝදනා 21ක් ගොනු කළ අතර, නඩු භාණ්ඩ 45ක් සහ සාක්ෂිකරුවන් 92ක් නම් කර ඇති බව ද වාර්තා වේ.
පාස්කු ප්‍රහාරය සිදු කිරීමට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2 (1) උ වගන්තිය යටතේ හා වාර්ගික, ආගමික ජන කොට්ඨාස අතර අසමගිය ඇති කිරීමට එරෙහිව ද චෝදනා ගොනු කර ඇත. පාස්කු ප්‍රහාරය සිදු කිරීමට පෙර දිවයිනේ ප්‍රදේශ ගණනාවක සිදු වූ සිද්ධීන් සම්බන්ධව ද නීතිපතිවරයා මෙහිදී අවධානය යොමු කර ඇති අතර තෝපූර්, මාවනැල්ල, නුවරඑළිය, හම්බන්තොට, පොතුහැර හා කටුපිටිය යන ප්‍රදේශවල සිද්ධීන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයා කටයුතු කරන බව ද පැවසේ.