පිදුරංගල පුරාවිද්‍යා ස්ථානයට මීට වඩා අවධානයක් ඕනෑ – විහාරාධිපති ආචාර්ය දානියගම ආනන්ද හිමි

ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානයක් ලෙස පිදුරංගල භූමියේ පුරාවිද්‍යා ආරක්ෂක ක්‍රමයක් නොමැතිකම නිසා එහි යන සංචාරකයන් සීමාව ඉක්මවා කටයුතු කරන බව පිදුරංගල රජ මහා විහාරාධිපති ආචාර්ය දානියගම ආනන්ද හිමි පවසයි.

ආගමික ස්ථානයක අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් සහ එහි අශෝභන හැසිරීම් ඡායාරූප ලබාගෙන මුහුණු පොතට එක් කර සිටීම පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කර මෙම පිරිස නීතියේ රැහැනට හසුකර ගත යුතු බවද විහාරාධිපති හිමි අද(24) ජනමාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වා ඇත.

පොදු ස්ථානයක හැසිරීම සම්බන්ධයෙන් මීට වඩා දැනුවත්කමක් තරුණ පරපුරට තිබිය යුතු බවද තමන්ගේ නිදහස අන්‍යයන්ට පීඩාවක් වන කාරණය කුමන විනෝද අවස්ථාවක වුවද වටහා ගෙන කටයුතු කළ යුතු බවද පවසන උන්වහන්සේ එය කුමන ආගමකටවත් මිනිස්කමටවත් සරිලන දෙයක් නොවන බව අවධාරණය කරති.

ආසන්නතම පුරාවිද්‍යා ස්ථානය පිහිටි සීගිරිය පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරියකු කියා සිටියේ මෙම ස්ථානයේ පුරාවිද්‍යා නිලධාරියෙකු සේවයේ නොමැතිවීම  නිසා ඔවුන් මේ ආකාරයෙන් හැසිරෙන බවය. සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ  විශාල වශයෙන් ආසන්නයේ පිහිටි පිදුරංගල ගල හා ඓතිහාසික පිදුරංගල රජමහා විහාරය  නැරඹීම සඳහා ගමන් කරති. මහාවංශය නමැති ඉතිහාස පුරාවෘත්තය සටහන් කළ මහානාම හිමි වාසය කළ විහාරස්ථානය පිදුරංගල බවට විශ්වාසයක් තිබේ.

 

Chandana Sirimalwatte :