Posted on 09.21.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පොලිස්පතිවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බව නීතිය හා සාමය බාර නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ඊයේ(20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණි.
ඔහු පවසා තිබුනේ මේ සම්බන්ධයෙන් නීතිය හා සාමය බාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම්දීමක් කර ඇති බවයි .
මේ අතර පොලිස්පති පූජිත් ජයසුන්දරට සති දෙකක කාලයක් තුළ ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙන ලෙස අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා විසින් කිසිදු දැනුම් දීමක් කළ බවට වූ මාධ්‍ය වාර්තාද නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ප්‍රතික්ෂේප කර ලදී.
එමෙන්ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ද පවසා සිටින්නේ, අග්‍රමාත්‍ය කාර්යාලය විසින් මෙවැනි දැනුම් දීමක් කළ බවට පැතිර යන පුවත් ප්‍රතික්ෂේප කරන බවයි.
පසුගිය දිනවල පොලිස්පතිවරයාගේ හැසිරීම සමාජයේ දැඩි විවේචනයට බඳුන් වූ අතර එය වඩාත් තීව්ර වූයේ පොලීසියේ ඉහළ නිලධාරියෙකු සහ මාකඳුරේ මධූෂ්ගේ කල්ලිය සමග එක්ව ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ජීවිතයට අනතුරක් කිරීමට ඇති සැළැස්මක් පිළිබඳව හෙළිදරව්වක් මතුවීමත් සමගයි. චෝදනාවෙන් පසුවද අදාළ ඉහල පොලිස් නිලධාරියා සමඟ පොලිස්පතිවරයා සමීප සම්බන්ධතා පවත්වන බවට චෝදනා එල්ල විය. ඊට අමතරව මහනුවර ප්‍රසිද්ධ පාසලකින් පොලිස්පතිවරයාට මිලියන 12ක චෙක්පතක් ලැබී ඇතැයි යන චෝදනාවක්ද පොලිස්පතිවරයාට එල්ල වී තිබුණි.
යම් නිලධාරියෙකුට විරුද්ධව පරීක්ෂණයක් පවත්වන්නේ නම් අදාළ නිලධාරියාගේ සේවය තාවකාලිකව අත්හිටුවීම කළ යුත්තකි. එවැනි කිසිවක් සිදු නොකොට මෙය පරීක්ෂණ පවත්වනවා යයි කියමින් මෙම ප්‍රශ්නය යට ගැසීමේ තවත් එක් උපක්‍රමයක් පමණක් බව පැහැදිලිය.