Posted on 11.13.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) බැදුම්කර වංචාව සම්බන්ධ චෝදනා එල්ල වූ ආකාරයට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් බිලියන 8.5 ක මුදලක් අයකර ගැනීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ අයවැය යෝජනාවක් මගින් හෙළි කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2016 වසරේ පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ මත මෙම අයවැය යෝජනා ඉදිරිපත් කර ඇති බව මුදල් ඇමතිවරයා සඳහන් කළේය.
බැදුම්කර වංචාවේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් මහ බැංකුව පනවා ඇති චර්යාධර්ම උල්ලංඝනය කරමින් අයුතු ලාභ ලබා ගත් බවට චෝදනා එල්ල විය. 2016 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ සේවක අර්ථසාධක අරමුදලට, වෙනත් ව්‍යවස්ථාපිත ආයතනවලට සහ රාජ්‍ය ආයතනවලට භාණ්ඩාගාර බැඳුම්කර විකිණීමේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ලාභ ලබා ඇත. ප්‍රධාන වශයෙන්ම ‘මිල සංවේදී අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරගැනීම’ සහ ඒ අනුව ‘වෙළඳපොල හැසිරවීම’ හරහා, මෙම වංචාව සිදුකර ඇත.
1937 අංක 07 දරන ලියාපදිංචි කොටස් හා සුරැකුම්පත් ආඥාපනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ආචාරධර්ම සංග්‍රහයේ විධිවිධාන දැනුවත් ලෙස උල්ලංඝණය කිරීමෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් බිලියන 8.5ක් උපයා ගෙන ඇති බව සඳහන්ය.
මේ වනවිට ආණ්ඩුවට මුහුණ දීමට සිදුව ඇති ආර්ථික අර්බුදය මෙන්ම ජනතාව අතර අපකීර්තිය වෙනස් කරගැනීම පිණිස මෙවැනි පියවර ගැනීමට ආණ්ඩුවට සිදුව ඇති බව නිරීක්ෂකයන්ගේ අදහස වේ.