Posted on 10.31.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අගමැති ධුරයේ දිවුරුම් දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉක්මනින් ආණ්ඩු බලය සියකට කේන්ද්‍ර කරගැනීමේ අරමුණින් මහමැතිවරණයකට යාමේ සූදානමකින් ක්‍රියාමාර්ග ගන්නා බවක් වාර්තා වේ.
පසුගිය පළාත්පාලන මැතිවරණයේදී සැළකියයුතු ජයග්‍රහණයක් ලබාගත් පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රමාණය මහින්ද රාජපක්ෂ වෙත ආකර්ෂණය වූ ඡන්ද ලෙස සළකමින් මහමැතිවරණයක් හරහා ආණ්ඩුවේ බලය තමන් අතට ගැනීමේ අරමුණින් මහින්ද රාජපක්ෂ දිගින් දිගටම මහමැතිවරණයක් ඉල්ලා සිටියේය. එසේ වුවද රාජපක්ෂ කණ්ඩායමට වඩා අසීරු වන්නේ ජනාධිපතිවරණයක් බැවින් සහ ජනාධිපතිවරණයක් 2019 ජනවාරියෙන් පසුව කැදවීමේ හැකියාවක් ජනාධිපතිවරයාට හිමිවන බැවින් එය ජනාධිපති මෛත්‍රිපාලගේ සැලැස්ම විය. එහෙත් මේ වනවිට මහින්ද මෛත්‍රී හවුලක් ගොඩනැගීම නිසා මෙහි වෙනසක් කරන්නේද යන්න ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් අනාවරණය වී නැත.
මේ වනවිට මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ සැලසුම වී ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයකට ඉඩ සැලසෙන ආකාරයට වත්මන් පාර්ලිමේන්තුව විසිරවීම බව පොදුජන පෙරමුණේ ප්‍රකාශකයන් මාධ්‍ය වෙත අනාවරණය කර ඇත. මහින්ද රාජපක්ෂට සමීප මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මෙන්ම උසස් අධ්‍යාපන ඇමති ලෙස දිවුරුම් දුන් විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේද මහමැතිවරණයක් කැදවිය හැකි බවය.
ජාතික, ආගමික සහ සංස්කෘතික යන සෑම ක්ෂේත්‍රයක්ම මේ වන විට පිරිහිමට ලක්ව ඇති බව පවසන අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මේ තත්ත්වයෙන් රට බේරා ගැනිම සඳහා වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා රට ගොඩනැගිය හැකි නායකයන් පත් කළ යුතු බව පවසා ඇත. විජේදාස රාජපක්ෂ ඇමතිවරයා මහමැතිවරණයක අවශ්‍යතාව පවසන්නේ වෙනත් ආකාරයෙනි.
අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම රටේ හදිසි අවශ්‍යතාවක් බැවින් පියවරකින් අතුරු අයවැය පරාජය කිරීමේ සම්මුතියක් එක්සත් ජතතාකි පක්ෂයේ, දෙමළ ජාතික සන්ධානයේ එකගතාවයෙන් ඇති වේ යැයි පුරෝකථනය කරමින් මෙම සැලැස්ම ක්‍රියාවට නගන්නට මහින්ද රාජපක්ෂ අපේක්ෂා කරයි. අතුරු අයවැයක් පරාජ වීමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට හැකි තත්වයක් ඇතිකරගැනීමත් ඒ තුලින් ජනාධිපතිවරයා ලවා පාර්ලිමේන්තුව විසුරුවා මහමැතිවරණයකට අවස්ථාව ලබාැනීමත් රාජපක්ෂ කණ්ඩායමේ අරමුණය.