මාධ්‍යවේදීන් ඝාතනයට, අතුරුදහන් කිරීම් හා හිංසනයට එරෙහිව මෙන්ම මාධ්‍ය ආයතන වෙත මුදාහළ භිෂනයනට එරෙහිව යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා ජනමාධ්‍ය සංවිධාන විසින් අද (29) ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ පිහිටි කාර්යාලයට මේ පිළිබඳව වූ ඔන්ලයින් පෙත්සමක් බාරදී තිබේ.
පසුගිය සමයේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්ය, අතුරුදහන් කිරීම්, පහරදීම් හිංසා කිරීම් ඇතුලුව විවිධ සිදුවීම ගණනාවක් සම්බන්ධ පැමිණිලි තිබේ. එසේම මාධ්‍ය ආයතන වෙතද ප්‍රහාර එල්ල විය. 2015 ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී ඉදිරිපත්වූ ප්‍රධාන දේශපාලන පොරොන්දුවක් වූවේ එම පැමිණිලි විමර්ෂණය කර වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන බවයි. නමුත් එම ආණ්ඩුව බලයට පත්වී වසර හතරක් ගෙවී හමාරය. එසේ වුව යහපාලන ආණ්ඩුව තවමත් එකදු අපරාධකරුවෙක්ටවත් දඬුවම් ලබාදී නොමැත.
ඒ වෙනුවට විමර්ශන කටයුතුවලට දේශපාලන අතපෙවීම් සිදුකිරීම, විමර්ශන කටයුතු පමා වම, සමහරක් වරදකරුවන් ආරක්ෂා කිරීම වැනි දේ සිදුවෙමින් පවතියි. 2000 වසරේ සිට 2010 අතර කාලයේ මාධ්‍යවේදීන්ට එරෙහි භීෂණය මුදාහැරීම් සම්බන්ධ සිදුවීම් 50ක් පමණ සිදුව තිබේ. නමුත් විමර්ශනයන් යම් මට්ටමකින් හෝ සිදුවන්නේ සිදුවීම් 3ක් සම්බන්ධයෙන් පමණි. එම විමර්ශනයන් සිදුවන්නේද ඉතා මන්දගාමීව වේ.
ඒ අනුව විමර්ශනය කටයුතු සොයා බල ඒවා කඩිනම් කරන ලෙසත් ඉල්ලා පොලිස් කොමිසමට පැමිණිල්ලක් සහ ආණ්ඩුව විසින් මෙම පැමිණිලි විමර්ශනයේදී ඇතැම් සාක්ෂිකරුවන්ට දක්වන පක්ෂපාතීත්වය සහ ඇතැම් දේශපාලන අතපෙවීම් ගැන දැනුවත් කරමින් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නේවාසික නියෝජිතයාට ලිපියක් බාරදීමද සිදුව ඇත .
මේ සඳහා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, දමිළ මාධ්‍ය සන්ධානය, මුස්‌ලිම් මාධ්‍ය සංසදය, අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය, සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය යන මාධ්‍ය සංවිධාන එක්වී තිබේ.