මීතොටමුල්ලට කුණු බැහැර කිරිමේදී සිදුවූ වංචා රැසක් විගණන වාර්තාවෙන් එළියට

කොළඹ මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ විශේෂ විගණන වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳව මූලික විමර්ශනයක් කරන ලෙස කොළඹ නාගරික කොමසාරිස්වරයා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි වෙත ලිපියක් යොමුකර තිබේ.

මීතොටමුල්ල කසළ කන්ද නාය යාමට කිසියම් තාක්ෂණික කරුණක් බලපා ඇත්නම් එහි වගකීමද කුලී වාහන ලබා ගැනීමේ අක්‍රමිකතවක් සිදුව ඇත්නම් එහි වගකීමද ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ ඉංජිනේරුවන් විසින් බාරගත යුතු බව කොළඹ නාගරික කොමසාරිස් කේ. වී. ඒ. අනුර විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත යැවූ ලිපියේ සඳහන් වේ.

මීතොටමුල්ල කුණු කන්දට කසළ බැහැර කිරීම සහ කොළඹ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධව විගණකාධිපතිවරයා විසින් පරීක්ෂණ වාර්තාවක් එළිදක්වා ඇත. එම පරීක්ෂණ වාර්තාවට අනුව මීතොටමුල්ල කසළ අංගනයේ කටයුතු පහසු කරනු සඳහා 2010 වසරේ සිට 2016 වසර තෙක්ම රජයෙන් රථවාහන මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන වෙන්කර ඇතත් ඒ සඳහා කිසිදු වාහනයක් මිලදී නොගෙන එක්තරා පෞද්ගලික සමාගමකින් පමණක් රථවාහන කුලී පදනම මත ලබාගෙන ඇත.

මෙම සමගම වාහන කුලියට දෙන ආයතනයක් ලෙස සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවන සමාගමක් වන අතරම අපද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් බලපත්‍රයක් ලබාගත් එකක් නොවේ.

මිට අමතරව 2015 වසරේ සිට කොළඹ නගර සභාව කසළ බැහැර කිරීම සඳහා පෞද්ගලික සමාගම් දෙකක් සමඟ ගිවිසුම්ගතව ඇති අතර ඒ සඳහා ගෙවන මුදල නගර සභා මිල හා සැසඳීමේදී ඉතා ඉහළ අගයක් ගන්නා බව මෙම පරීක්ෂණ වාර්තාවේ දැක්වේ.

එසේම ටෙන්ඩර් ක්‍රමවේදයේදී ලංසු විවෘත කරන කමිටුවක් පත්කර නැති බවද, ලංසුකරුවන් ඉදිරිපිටදී ලංසු විවෘත කර නැති බවද පැවසේ. කොන්ත්‍රාත් ගිවිසුමට අනුව දින 30ට පෙර කොන්ත්‍රාත්තුවේ සඳහන් වාහන නගර ශාලාවේදී ප්‍රදර්ශනය කළ යුතුය යන කොන්දේසිය හිතා මතා ඉවත්කර ඇති බවද විගණන වාර්තාවේ දැක්වේ.

Sithara Sajeewani :