Posted on 10.22.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොවිඩ් නිව්මෝනියාව හා සම්බන්ධ සංකූලතාවයක් වන කළු දිලීර ආසාදනය හේතුවෙන් මෙරට සිදු වූ පළමු මරණය ගාල්ල කරාපිටිය රෝහලෙන් වාර්තා වී ඇත.
කොවිඩ් නිව්මෝනියාව වැළඳී ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් සැප්තැම්බර් 29 වැනිදා මෙම රෝගියා මිය ගොස් ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානී, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රොහාන් රුවන්පුර පැවසීය.
මියගිය පුද්ගලයාගෙන් ලබාගත් සාම්පල් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත එදිනම යොමු කළ බවත්,පෙරේදා (21) ලැබුණු පරීක්ෂණ වාර්තාවට අනුව මියගිය පුද්ගලයාගේ පෙනහළු ආශ්‍රිතව කළු දිලීර ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවත්, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.
එසේ මියගිය පුද්ගලයා ඇල්පිටිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිව සිටි 56 හැවිරිදි අයෙකි.
කොවිඩ් නිව්මෝනියා හා සම්බන්ධ කළු දිලිර සංකූලතා හේතුවෙන් මියගිය පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් මෙරට පැවැත්වූ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය මෙය බවද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියඅරකි විසින් සිදු කර තිබේ.