தமிழ்
English
Contact
Sunday 5th May 2019    
රත්ගම ද්විත්ව ඝාතනයේ පොලිස් සැකකරුවන් 5 දෙනෙක් අතුරුදන්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රත්ගම ද්විත්ව ඝාතනයේ පොලිස් සැකකරුවන් 5 දෙනෙක් අතුරුදන්!



රත්ගම ව්‍යාපාරික තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරින් 5ක් මේ වනවිට රාජකාරියෙන් බැහැරව අතුරුදන්ව ඇත.
රත්ගම බූස්ස රත්න උදාගම ප්‍රදේශයේ පදිංචිව සිටි මේ තරුණයන් පැහැරගෙන ගොස් ඝාතනය කර පුලුස්සා දමන ලද බවට පොලිසියට චෝදනා එල්ල වී තිබේ. දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ රාජකාරී සඳහා අනුයුක්ත කර සිටි පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනෙකු පිළිබඳව සැක පිට විමර්ශන ආරම්භ කර ඇත.
අදාල පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනා ඇතුළුව එම ඒකකයේ 15 දෙනෙකු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් දකුණු පළාතෙන් පිටත පොලිස් ස්ථාන වෙත වහා ක්‍රියාත්මකවන පරිදි මාරු කර යවා තිබෙන අතර ඊට අදාල පණිවුඩය ලබා දීම සදහා ඔවුන් සොයාගත නොහැකි වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අනාවරණය වූ කරුණු අනුව පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වලස්මුල්ල හැවැන්දෙණිය ප්‍රදේශයේ සැවැන්දෙණිය රක්ෂිතයේ සිඳී ගිය ඇළ මාර්ගයක තිබී පිළිස්සුණු අස්ථි සහ දත් කොටස් කිහිපයක් සොයාගැනීමෙන් පසුව වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ ඊයේ (22) එම ස්ථානය පරීක්ෂාවට ලක් කළේය.
රත්ගම බූස්ස රත්න උදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනා ඉකුත් ජනවාරි මස 23 වැනි දින පැහැර ගැනීම සඳහා පොලිස් නිල ඇඳුමින් සැරසුණු 13 දෙනෙකු නිල නොවන ආකාරයට සහභාගී වී තිබෙන බව රහස් පොලිස් පරික්ෂණ වලදී අනාවරණයවී ඇත.
ඔවුන්ගෙන් පොලිස් පරීක්ෂකවරයකු දැනටමත් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින අතර තවත් උප පොලිස් පරීක්ෂකවරයෙකු රැඳවුම් නියෝග යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් බාරයේ තබා ගෙන ප්‍රශ්නකර ගෙන යයි.