Posted on 11.01.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් නැවත අගමැති කළහොත් තමා ජනාධිපති පුටුවේ පැයක්වත් නොසිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ(01) දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවේදී ප්‍රකාශ කර ඇත.
එසේම මෙම හමුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති ධූරයේ සිටිනා තුරු උතුරු නැගෙනහිර එකතු කිරීමක් හෝ ෆෙඩරල් ලබාදීමක් සිදුනොකරන බවයි.
එම කරුණු දෙක ඉටු කර ගැනීමට නම් තමා මරා දැමිය යුතු යැයිද ජනාධිපතිවරයා පවසා ඇත.
තමා 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කර සිටියදී එජාපයේ ලේකම්වරයකු තමාට ලිපියක් ගෙනැවිත් දුන් බව පවසා ඇති ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ අගමැති කළ යුතු බව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අහවල් වගන්තිය යටතේ ජනාධිපති සතු බලතල අගමැතිවරයාට පවරණ බවට අත්සන් කරන්නැයි එහි සඳන්ව තිබූ බව ද පවසා ඇත.
රනිල් වික්‍රමසිංහ කටයුතු කළේ ඒ ආකාරයෙත් බව පවසා ඇති ජනාධිපතිවරයා තමා පසුගිය වසර තුන හමාර ගත කළේ ඉතාම අසීරුවෙන් බව ද සඳහන් කර තිබේ. ජනාධිපතිවරයා පවසා ඇත්තේ මේ තත්ත්වය හමුවේ තමා, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ තවදුරටත් ඊට ඉඩදිය නොහැකි නිසා බවයි.
රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් නැවත අගමැති කළහොත් තමා ජනාධිපතිවරයා ලෙස කටයුතු නොකරන බව කීම හරහා මෛත්‍රීපාල සිරිසේන තුළ රනිල් නැවත අගමැති වෙතැයි දෙගිඩියාවක් පවතින බව පෙනේ. එසේම ජනාධිපතිවරයා ෆෙඩරල් ගැන සඳහන් කර උත්සාහ ගන්නේ දකුණේ ජනතාවගේ ආකර්ෂණය ලබාගැනීම බව පැහැදිලිය.