தமிழ்
English
Contact
Monday 6th May 2019    
රවින්ද්‍රගේ නීතිඥයා පැමිණිල්ලේ නීතිඥවරියට බොරු චෝදනා කර සමාව ඉල්ලයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රවින්ද්‍රගේ නීතිඥයා පැමිණිල්ලේ නීතිඥවරියට බොරු චෝදනා කර සමාව ඉල්ලයි!



ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණරත්න වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අචලා සෙනෙවිරත්න එන්ජීඕ මුදලින් නඩු කතා කරන බවට ප්‍රකාශයක්  සිදුකර, අධිකරණය තුළදී සමාව ඉල්ලා සිටින ලදී.

නාවික හමුදාවේ කප්පම් කල්ලියක් විසින් පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමෙන් පසුව අතුරුදන් කෙරුණු තරුණයින් ඇතුළු 11දෙනෙකු සම්බන්ධයෙන් නඩු විභාගය අද(5) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැණුනි. එම නඩුවේ ප්‍රධාන සැකකරු  චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට ආරක්ෂාව ලබාදෙමින් රටින් පිට කිරීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වූ හා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම යටතේ අත්අඩංගුවට ගෙන සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්නය. ඔහු සිය සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටිමින් වින්දිතයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අචලා සෙනෙවිරත්න සම්බන්ධයෙන් කළ ප්‍රකාශයත් සමඟ නීතිඥවරිය එවැනි චෝදනාවක් ඇත්නම් විවෘත අධිකරණයේ එම චෝදනාව ඔප්පු කළ යුතු බව පෙන්වා දුන්නාය. එලෙස චෝදනා සනාථ කළ නොහැකි නම් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා එම ප්‍රකාශය ඉවත් කරගන්නා ලෙසත් අභියෝග කළාය. එහිදී ජනාධිපති නීතිඥවරයා විසින් එම ප්‍රකාශයට අධිකරණය ඉදිරියේ සමාව ඉල්ලා සිටින ලදි.

පැහැර ගෙන ගොස් අතුරුදන් කෙරුණු පුද්ගලයන්ගේ ඥාතින් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අචලා සෙනෙවිරත්න වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කරන ලදි.

“ගරු ස්වාමීනි, මම මේ අධිකරණයේ අවුරුදු 11ක් පුරා ගෞරවනීය ලෙස සේවය කරනවා. අවුරුදු 9ක් පුරා මම මේ අම්මලා වෙනුවෙන් මෙම නඩුවට පෙනී ඉන්නවා. මට දිගින් දිගටම මරණ තර්ජන ආවා. තව කොතෙකුත් බලපෑම් ආවා. ඒ සියල්ල සම්බන්ධයෙන් නඩු විභාග අධිකරණයන්හි මේ වනවිටත් විභාග වෙනවා. මේ පැහැරගෙන ගියේ එල්ටීටීඊකාරයන් නෙමෙයි. මේ පැහැරගෙන ගිහින් කප්පම් අරගෙන අතුරුදන් කරල තියෙන්නෙ දරුවන්. දෙමළ අම්මලගෙ වගේම සිංහල අම්මලගෙ, රණවිරුවන්ගේ දරුවනුත් මෙතන ඉන්නවා. මම මෙම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට බොහෝම ගෞරව කරපු කෙනෙක්. නමුත් මම මේ ගරු අධිකරණයෙන් අහන්න කැමතියි මට මොන පදනමකින්ද මෙහෙම චෝදනාවක් කළේ සහ මම මොන එන්ජීඕ එකටද සම්බන්ධ කියල මේ ගරු අධිකරණය ඉදිරියේම ඔප්පු කරල පෙන්වන්න කියල. මම මෙතුමාගේ ප්‍රකාශය මෙම නඩුකරයට ඇතුළත් කරන ලෙස ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. මොකද මම මේ ගරු අධිකරණයේ ස්වාධීන නිලධාරියෙක්. මේ එන්ජීඕ කතා කියලා නැති කරන්ම හදන්නෙ සහ බලපෑම් කරන්නෙ මේ ස්වාධීන අධිකරණ නිලධාරී සේවයට. මම මෙතන නැති දවසක හරි කාන්තාවකට මෙම අධිකරණය තුළ මෙවැනි අභූත චෝදනා නොඑන්නයි මම මේ කාරණය නඩුවට ඇතුළත් කරන්න කියලා ඉල්ලා සිටින්නේ. මේ කරපු චෝදනාවට මෙම විවෘත අධිකරණය තුළදීම සමාව ගැනීම සහ එය එවත් කර ගැනීම කළ යුතුයි. අපි අහන්න යන්නේ නෑ මෙතුමා මොන එන්ජීඕ වලින්ද මුදල් ලබා ගන්නේ කියලා. නමුත් ගරු අධිකරණයට වගේම මෙතන ඉන්න සියලුම ජනමාධ්‍යවේදීන්ට, සාමාන්‍ය මිනිස්සුන්ට වැටහෙන්න ඇති කවුද අපරාධකරුවන් ආරක්ෂා කරන්න සහ ඒ වෙනුවෙන් එන්ජීඕ හෝ වෙනයම් ආයතන වලින් සල්ලි ගන්නේ කියලා.’

ඇයගේ ප්‍රකාශයෙන් පසුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක පැවසුවේ මෙවැනි ආකරයේ චෝදනා සහ බලපෑම් කිරීම් මෙම නඩුකරය තුළ සිදු නොකළ යුතු බවයි. ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න ඉන් අනතුරුව සිය ප්‍රකාශය පිළිබඳව සමාව ඉල්ලා සිටින බවත්, එසේම එම චෝදනාව ඉවත් කරගන්නා බවද එම ප්‍රකාශය තමන්ගේ කනිෂ්ඨ නිතිඥවරියක අමතා කළ සාමාන්‍ය අදහසක් ලෙස අමතක කර දමන ලෙසත් ඉල්ලා සිටින ලදී.