தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
වතුකම්කරුවන්ගේ 1000 වෙනුවට 800යි - රු. 50ක් තේ මණ්ඩලේ අරමුදලින් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වතුකම්කරුවන්ගේ 1000 වෙනුවට 800යි – රු. 50ක් තේ මණ්ඩලේ අරමුදලින්



ලබන මැයි මාසයේ සිට වතු කම්කරුවන්ගේ වැටුපට රුපියල් 50ක දෛනික දීමනාවක් එකතු කිරීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක ඊයේ (11) පාර්ලිමේන්තුවේපැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

ඒ අනුව වතු කම්කරුවන්ගේ දිනක  වැටුප රුපියල් 800ක් වන බව පැවැසූ ඇමැතිවරයා එය සියයට 40ක වැටුප් වැඩිවීමක් යැයිද කීය.

මෙම රුපියල් 50 දීමනාව තේ මණ්ඩලයේ මුදල් වලින් ලබා දීමට පියවර ගන්නා බව කී ඇමැතිවරයා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ  ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද පැවැසීය. වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමේ වතු වෘත්තීය සමිති හා හාම්පුතුන්ගේ ගිවිසුම විසිවසරකට වඩා පැරණි බව කී ඇමැතිවරයා එම ගිවිසුමේ පාර්ශ්වකරුවන් වශයෙන් දිගම්බරම් සහ රාධා ක්‍රිෂ්ණා ඇතුළුවී නැති බවද කීය. එම නිසා මෙම ගිවිසුම අලුතින් සකස් කිරීම සඳහා කාලය එළඹ ඇති බවද ඇමැතිවරයා පැවැසීය.

වතු කම්කරු වැටුප් ඉල්ලීම සදහා 1000 ව්‍යාපාරය හරහා මතුකළ ඉල්ලීම වූයේ අධික ලාභ උපදවන සමාගම් වතු කම්කරුවාට හිමි වැටුප නොගෙවා දරුනු ශ්‍රම සූරාකෑමක් සිදුකරන බවයි. මේ නිසා වතු කම්කරුවන්ට අවම වශයෙන් දෛනික වැටුප සාමාන්‍ය කම්කරුවන්ගේ දෛනික වැටුපට සමකළ යුතුව ඇති බව පැහැදිලිය. ඒ අනුව රු.1000ක ඉල්ලීම සාධාරණ නමුත් වැවිලි කර්මාන්ත ඇමති පවසන්නේ දැනට සමාගම්වලින් දෙන්නට එකගව ඇති රු. 750ට අමතරව තේ මණ්ඩලයෙන් රු 50 ක දීමනාවක් ලබා දෙන බවයි. එවිටද වතු කම්කරුවකුට හිමි වන්නේ රු 800ක් පමනකි.