Posted on 04.12.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වල්සපුගල ගොවි ජනතාව ඇතුළු ඊට සහාය පළ කළ ජනතා සංවිධානවල සාමුහික අරගලයේ ජයග්‍රහණයක් සටහන් කරමින් ‘හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය’ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර තිබේ.
හෙක්ටයාර 23,746ක භූමි ප්‍රමාණයකින් යුතු ප්‍රදේශයක් විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයාගේ අත්සනින් පළ කළ ගැසට් නිවේදනයකින් වන අලි කළමණාකරණ රක්ෂිතය ලෙස නම් කර අදාළ භූමියේ පිහිටා ඇති හෙක්ටයාර 866 කින් යුත් ගුවන් තොටුපොළ ලෙස නම්කර ඇති භූමි ප්‍රමාණය ඉන් ඉවත් කර තිබේ.
වනඅලි කළමණාකරණ රක්ෂිත ප්‍රදේශය, හම්බන්තොට, මොනරාගල යන දිස්ත්‍රික්කවලට අයත් හම්බන්තොට, සූරියවැව, ලුණුගම්වෙහෙර සහ තණමල්විල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස තුළ පවතින්නක් බව ද ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර ඇත.
මේ දක්වා දින 86ක් පමණ කාලයක් වල්සපුගල ගොවි ජනතාව, හම්බන්තොට ප්‍රදේශයේ ගොවි සංවිධාන රැසකගේ සහභාගිත්වයෙන් සත්‍යග්‍රහයක නිරත වෙමින් හම්බන්තොට වනඅලි කළමණාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලා සිටියහ. වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ විසින් මාසයක් තුළ එම පියවර ගන්නා බවට බොරු පොරොන්දුවක් ලබා දුන් නමුත් පසුව ඔහුම ප්‍රකාශ කළේ ‘වල්සපුගල ගොවීන් උපවාස කරන බව කියමින් හොඳට කාලා බීලා සැපට නිදා ගන්නා බව’ය.
එහිදී ගොවි නියෝජිතයන් වාරිමාර්ග ඇමතිවරයාට ආරාධනා කළේ තමන් සමග ‘සැපට නිදන්නට’ නැවත වල්සපුගල උඵවාස භූමියට පැමිණෙන ලෙසය.
මේ වනවිට ගොවි අරගලයේ ඉල්ලීමක් ඉටු කිරීමට ආණ්ඩුවට සිදුව ඇති අතර හම්බන්තොට ගොවි ජනතාව ඇතුළු මෙරට ජනතා සංවිධාන රැසක් එක්ව කළ අරගලයේ ජයග්‍රහණයක් ඉන් සලකුණු වී ඇත.
කෙසේවෙතත්, හම්බන්තොට මෙන්ම මෙරට ගොවි ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගලය ඉදිරියට ගමන් කරනු ඇත.