Posted on 03.23.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
යෝජිත ගිං නිල්වලා අතිරික්ක ජල හැරවුම් ව්‍යාපෘතිය පිළිබද කරුණු පැහැදිලි කරමින් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
සිංහරාජ රක්ෂිතය සීමාව ආසන්නයේ වැව් ඉදිකිරීම ව්‍යාපෘතික යෝජනාවක් පමණක් වන බව එහිදී ඔහු ප්‍රකාශ කර තිබේ. තමා ප්‍රකාශ කළේ මූලික අයිතිවාසිකමක් වන පානීය ජල ප්රශ්නය මෙන්ම ජාතියේ ජල මූලාශ්‍ර ආශ්රිත වැසි වනාන්තර සුරැකීම පිළිබඳව රජය මුහුණදෙන සැබෑ තත්ත්වය සහ වගකීම බව අමාත්‍යවරයා පවසයි.
හම්බන්තොට වීරකැටිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී චමල් රාජපක්ෂ ඇමතිවරයා පවසා තිබුනේ ගිං සහ නිල්වලා ගංගාවල ජලය, චන්ද්‍රිකා වැව හරහා ගිරුවාපත්තුට රැුගෙන ඒම සදහා වූ ව්‍යාපෘතියක්, මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ කාලයේ සැලසුම් කර තිබුණු බවත්, අදාල ව්‍යාපෘතිය චීන සමාගමකට භාර දී තිබූ බවයි. වැව් ඉදිකිරීම හේතුවෙන් සිංහරාජයට අහිමිවන පරිසර පද්ධතිය වෙනුවට තවත් අක්කර පනහක් හෝ සීයක් සිංහරාජයට එකතු කිරීමට අදහස් කරන බවද අමාත්‍යවරයා පවසා තිබුණි. මෙම ප්‍රකාශය පිළිබද සමාජ මාධ්‍යයේ පළවන පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් චමල් රාජපක්ෂ මෙම නිවේදනය නිකුත් කර තිබේ.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ගිං – නිල්වලා ජල යෝජනා ක්රමයේ අවසන් ශක්‍යතා අධ්‍යයන වාර්තාව සැකසීමෙන් පසු සිංහරාජ රක්ෂිත සීමාවේ ඇති මාදුගැටේ ගම්මානය අසළින් ගලා බසිනා ගිං ගඟේ දකුණු ඉවුර ආශ්‍රිතව මාදුගැටේ වැව ද නිල්වලා ගඟ ආශ්‍රිතව අම්පනාගල ගම්මානය ආශ්‍රිතව අම්පනාගල වැව ද ඉදිකළ යුතු බවට ව්‍යාපෘති විශේෂඥයින් යෝජනා කර තිබුණේ ආශ්රිත කලාපවල ජෛව විවිධත්වයට හා ශාක සංරක්ෂණයට ප්‍රමුඛත්වය දෙමින් බවයි.
අමාත්‍ය චමල් රාජපක්ෂ පවසන්නේ, ජාතික වනෝද්‍යාන හා රක්ෂිත තුළ වැව් ඉදිකිරීම දශක කිහිපයක සිට වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන බව ද යාල, කුමන, උඩවලව ඇතුළු ප්‍රධාන රක්ෂිත තුළ මේ වනවිටත් එවැනි වැව් ඉදිකර ඇති අතර ඒ තුළින් වන ජීවින්ගේ පානීය ජල ගැටලුව විසඳී එම සතුන් ජලය සොයා ගම්වැදීම අවම වී වන-අලි මිනිස් ගැටුම් තත්ත්වයන් පාලනය වීමක් ද අපේක්ෂා කරන බවය.