Posted on 05.23.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මේ දක්වා වසංගතය සම්බන්ධ අවශ්‍ය විධි විධාන නීතිගත නොකිරීමේ තත්වය විවේචනයට ලක් වුවද අවසානයේ ආණ්ඩුව කෝවිඩ් පනතක් සම්මත කිරීමට ලබන මාසයේ සූදාම්වන බව දැනගන්නට ඇත.
වසංගත සමයේදී ජනතාවට සහන සැලසීම සඳහාවු “කොවිඩ් 19 විධිවිධාන පනත් කෙටුම්පත ” ලබන මස මුල් සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව අධිකරණ ඇමති අලි සබ්රි පවසයි.
පනත් කෙටුම්පත දැනට සකස් කර අවසන්ව ඇතැයිද එය ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව ද ඇමතිවරයා සඳහන් කරයි.
පසුගිය 20 වැනිදා හදිසියේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත් ‘කොළඹ වරාය නගර පනත’ සම්බන්ධයෙන් ආණ්ඩුවට තිබුණු කලබලය මෙම පනත් සම්මත කිරීමේදී නොමැති බවට විවිධ අංශවලින් ආණ්ඩුවට චෝදනා එල්ල විය. එහිදී ආණ්ඩුව කියා සිටියේ අදාළ පනත ඉක්මනින් ගෙන එන බවය.
පසුගිය වසරේ මාර්තු මස සිට වසංගතය හමුවේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සහ ජනතාවට සහන සැලසීම සඳහා නීති ඇතුළත් ගැසට් නිවේදන ගණනාවක් ද පසුගිය කාලයේදී ආණ්ඩුව විසින් නිකුත් කර ඇත. මෙම නිවේදනයන්ගෙන් ක්‍රියාත්මකවන නීතිමය තත්වයන් පාර්ලිමේන්තුව විසින් නිසි ලෙස සම්මත නොකරන්නේ නම් ඒ නීති විරෝධී ක්‍රියාදාමයක් වන බැවින් ඊට නෛතික ස්ථානය හිමිකරදීමට අවශ්‍ය පනත් හෝ පනත් සශෝධන සම්මත කළ යුතුව ඇත.
කොවිඩ් වසංගත කාලපරිච්ඡේදයේදී ඉටු කර ගැනීම මගහැරෙන යම් යම් ප්‍රශ්න පසුකාලීනව හෝ ඉටුකරගැනීම සඳහා ජනතාවට අවස්ථාව සැලසීම නීතියෙන් තහවුරු කිරීම හා වසංගත කාලයේදී ඔන්ලයින් ක්‍රමයට නඩු ඇසීමේ ක්‍රමවේදය නිත්‍යානුකුලව තහවුරු කිරීම යනාදීවු අරමුණු රැසක් මෙම පනත් කෙටුම්පත මගින් ඉටු කර ගැනීමට බලාපොරොත්තුවන බවද අධිකරණ ඇමතිවරයා පෙන්වා දෙයි.