ශිෂ්‍ය නේවාසිකාගාරයකට පාන්දරින් කඩා පැන පොලිසිය සෙව්වේ මොනවාද?

අද(31) පාන්දර 1.00ට පමණ ආයුධ සන්නද්ධ පොලිස් කණ්ඩායමක් සෞන්දර්ය සරසවියේ සිසුන් සදහා වූ දෙහිවල පිරිමි නේවාසිකාගාරයට පැන ශිෂ්‍යයන්ගේ පෞද්ගලිකත්වයේ අයිතිය උල්ලංඝනය කර තිබේ.

ශිෂ්‍ය නේවාසිකාගාරයට පොලිසිය කඩා පනින්නේ අධයාපන අයිතිය වෙනුවෙන් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන විරෝධතාවක් අද දින කොළඹදී සංවිධානය කෙරෙමින් තිබියදී වීම විශේෂත්වයකි. විශ්ව විද්‍යාල අධ්‍යාපන අයිතින් ආරක්ෂා කිරීමට හා ඉන් ඔබ්බට නිදහස් අධයාපන අයිතින් සුරක්ෂිත කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය ගෙන යන අරගලය මර්දනය කිරීමේ අරමුණින් මෙම පොලිස් කඩාපැනීම සිදුවූ බව ශිෂ්‍යයන්ගේ අදහසයි. විශේෂයෙන්ම පසුගිය රනිල්-මෛත්‍රි හවුල් පාලනය යටතේ උසස් අධ්‍යාපන ඇමතිවරයා වූ විජේදාස රාජපක්ෂ හදිසියේ අගමැති ලෙස තෝරාගත් මහින්ද රාජපක්ෂගේ ඇමති මණ්ඩලයේදීද එම තනතුරේම දිවුරුම් දුන් පසුබිමක මෙම පොලිස් කඩාපැනීමේ කුමන්ත්‍රණකාරී ස්වභාවයක් ඇතැයි ශිෂ්‍ය ක්‍රියාකාරීහු චෝදනා කරති.

ශිෂ්‍ය විරෝධතාවක් පැවැත්වෙන සෑම අවස්ථාවකදීම පොලිසිය මගින් අධිකරණ නියෝග ගෙන එම විරෝධතා අවහිර කිරීම, සාමකාමී පෙළපාලිවලට දරුණු ලෙස, ජල ප්‍රහාර, බැටන් හා කදුලුගෑස් ප්‍රහාර එල්ල කිරීම සිදු කෙරේ. අද දින විරෝධතාව තහනම් කිරීමේ පොටක් පාදාගන්නට පොලිසිය විසින් හදිසියේ ශිෂ්‍ය නේවාසිකය වෙත කඩාපැන පරික්ෂා කළ බවට අනුමාන කළ හැකි බවද අද දින කොළඹ, අධිකරණයකින් පෙළපාලිය තහනම් කිරීමේ නියෝග ඉල්ලා සිටීමේදී පොලිසිය ඉදිරිපත් කරන්නට ඉඩ තිබෙන කරුණු අනුව මර්දනයේ සැබෑ ස්වභාවය වටහා ගතහැකි වෙතැයිද එම ශිෂ්‍ය නියෝජිතයෝ පවසති.

Chandana Sirimalwatte :