தமிழ்
English
Contact
Wednesday 19th January 2022    
සමාජ මාධ්‍යයෙන් රජය විවේචනය කළොත් බලාගෙනයි! රාජ්‍ය සේවකයන් හා නිලධාරින්ට අනතුරු ඇඟවීමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සමාජ මාධ්‍යයෙන් රජය විවේචනය කළොත් බලාගෙනයි! රාජ්‍ය සේවකයන් හා නිලධාරින්ට අනතුරු ඇඟවීමක්!



රාජ්‍ය නිලධාරින් සමාජ මාධ්‍ය තුළ කරන ප්‍රකාශ රජයේ ආයතන සංග්‍රහයට පටහැනි අවස්ථා ඇති බැවින් ඒ් සම්බන්ධ අවධානය යොමුකරන ලෙස අවවාද නිකුත් කර ඇත.

අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ ඇමති චමල් රාජපක්ෂ විසින් අමාත්‍යංශ නිලධාරින් වෙත උපදෙස් දී ඇති ආකාරයට ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් සහ අමාත්‍යංශ තීරණ සමච්චලයට ලක්කරමින් සමාජ මාධ්‍ය ජාලාවල පළ කළ කරුනු විනය විරෝධී බවද ආයතන සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි බවද දැනගන්නට ඇත. තම අමාත්‍යංශය යටතේ රාජ්‍ය සේවයේ කටයුතු කරන නිලධාරීන්ට මේ සම්බන්ධ දැනුවත් කරන ලෙස එම අමාත්‍යවරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුනට දැනුම් දී තිබේ.

ඒ අනුව ආරම්භක පියවරක් ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් අතිරේක ලේකම් විමර්ශන ධම්මික මුතුගල විසින් මෙම කරුනු සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන් වෙත දැනුවත් කිරීමේ ලිපියක් යොමු කර ඇත. කෙසේවුවද මෙම ලිපිය සකස්කර ඇත්තේ සියලුම රාජ්‍ය සේවකයන් සඳහා යොමු කළ ලිපියක් බව අනාවරණය වේ. සමාජ මාධ්‍ය හෝ වෙනත් ආකාරයට ආයතනය තුළ හෝ පරිබාහිර ස්තානවලධී රජයේ තීරණ හෝ ක්‍රියාමාර්ග සම්බන්ධ විවේචන කිරීම, සමච්චලයක් හෝ උපහාසයක් ඇතිවන ලෙස අදහස් පළ කිරීම හේතුවෙන් රාජ්‍ය සේවකයන් ආයතන සංග්‍රහයේ සඳහන් ආකාරයෙන් විනය විරෝධී සහ තනතුරට නොගැළපෙන ලෙස කටයුතු කිරීම යන වරද සඳහා චෝදනාකරුවන් බවට පත්කළ හැකි බව එම ලිපියෙන් අවධානයට ලක්කර තිබේ.

මේ වන විට මෙසේ රාජ්‍ය පිළිවෙත් හෝ ක්‍රියාමාර්ග විවේචනය කරමින් හා උපහාසයට ලක්කරමින් සමාජ මාධ්‍ය තුළ අදහස් පළ කරන්නන් අතර ප්‍රාදේශීය ලේකම්වරු සහ ග්‍රාම නිලධාරීන් පවා සිටින බව එකී ලිපයෙන් අවධානයට ලක්කර තිබේ. නමුත් ප්‍රාදේශීය ලේකම්වරු සහ ග්‍රාම නිලධාරීන් යනු නිශ්චිත ලෙසම පොලිස් බලතල සහිත ‘සාම නිලධාරීන්’වන බැවින් ඔවුන්ට කෙසේවත් ආයතන සංග්‍රහය උල්ලංඝනය කළ නොහැකි බව ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලිපියෙන් පෙන්වා දී ඇත.

මේ ආකාරයේ අනතුරු ඇඟවීමේ ස්වභායක් සහිත ලිපි නිකුත් කිරීමට හේතුව සම්බන්ධ කළ විමසීමකදී ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරින් විසින් ප්‍රකාශ කර ඇත්තේ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ සමාජ මාධ්‍ය හැසිරීම පිළිබඳව ජනතාවගෙන් පැමිණීලි ලැබී ඇති බවය.

මේ අතර රාජ්‍ය සේවා අමාත්‍යංශය විසින් ආයතන සංග්‍රහයේ විධි විධාන පිළිබඳව රාජ්‍ය නිලධරයන් දැනුම්වත් කිරීම සඳහා විශේෂ වැඩමුලුවක්ද සංවිධානය කර ඇත.
දෙසැම්බර් 06 දින සිට 10 වන දක්වා ඔන්ලයින් ක්‍රමයට කැඳවා ඇති මෙම පුහුණු වැඩසටහන මගින් ආයතන සංග්‍රහසේ විධිවිධාන සම්බන්ධව නිසි අවබෝධයක් ලබා දීම සඳහා කළමනාකරණ සේවා නිලධාරී සේවයේ සහ සංවර්ධන නිලධාරි සේවයේ නිලධරයන් සහභාගි කරගනු ඇත.