සවුත්ලන්ඩ් විද්‍යාලයට සිසුවියන් ඇතුලත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපියක්!

ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලය ආසන්නතම පාසල වන බැවින් සිසුවියන් 4 දෙනෙකු පාසලට ඇතුලත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු විසින් අද ලිඛිතව විදුහල්පතිනියට දැනුම් දෙනු ලැබීය.

දෙමාපියන්ගේ පදිංචිය සනාථ කිරීමේ ලේඛන පවතින චක්‍රලේඛවලට පටහැනි බව පවසමින් මෙ⁣ම සිසුවියන් එම විද්‍යාලයට ඇතුලත් කර ගැනීම පාසල් බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබිණ. එම අසාධාරණයට එරෙහිව දෙමාපියන් අඛණ්ඩ අරගලයක නිරත විය. නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය හරහා අනෙකුත් සංවිධාන ඒකරාශීව අරගලය ඉදිරියට ඇදුනි. පාසල ඉදිරිපිට ආරම්භ කල සත්‍යග්‍රහය දින 50 ඉක්මනවනතුරුත් කිසිදු බලධාරියෙක් මෙකී ගැටලුවට විසඳුමක් ලබා දී නැත. ඒ අනුව අද(25) දින ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය‘ සංවිධානය කළ විරෝධතාව පැවතියේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ වීමටය. ඒ අනුව අද දෙමාපියන්ට හා සිසු ජන ව්‍යාපාරයේ නියොජිතයන්ට අධ්‍යාපන ඇමතිවරයා සමඟ සාකච්ජාවක් ලබා දුන් අතර සිසුවියන් සිව්දෙනා පාසලට ඇතුලත් කර ගන්නා ලෙස ඇමතිවරයා දැනුම් දි තිබුනේ මින් පෙර තමන් ගැටලුව නොදන්නා බවත් මෙය ලේකම්වරුන්ගේ ගැටලුවක් බවත් හුවා දැක්වීමට උත්සාහ කර තිබිණ. පැය 4 කට ආසන්න කාලයක් ගත වු පසු සිසුවියන් පාසලට ඇතුලත් කරන ලෙස දැන්වු ලිපියක් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරයෙකුගේ අත්සනින් නිකුත් කෙරිණ.

ඒ අනුව මෙතෙක් සිදු කල අරගලයේ ජයග්‍රහණයක් ලැබී ඇත. නමුත් මෙම සිසුවියන් 4 දෙනා සවුත්ලන්ඩ් විද්‍යාලයට ඇතුලත් කර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරනතුරු මෙම අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය‘ තීරණය කර ඇත.

Chandana Sirimalwatte :