හොරිකඩ සමිති නායකයෝ වතු කම්කරුවන්ගේ 1000 අරගලය හාම්පුතුන් ඉදිරියේ පාවා දෙති!

වතු කම්කරුවන්ගේ දිනයක මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට එකගවීමෙන් වතුකම්කරු වෘත්තිය සමිති අද (25) වතුකම්කරුවන්ගේ 1000 අරගලය පාවා දී ඇත.

රුපියල් 530ක්ව පැවති තම දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් මාස ගණනක් වැඩ වර්ජනවල සහ විරෝධතාවල නිරත වූ අතර බලධාරීන් සමඟ සාකච්ඡා වට කිහිපයක්ද පැවැත්වුණි. පසුගියදා වතු කම්කරුවන් සමග වෙනත් වෘත්තිය සමිති, බහුජන සංවිධාන හා සමාජ ක්‍රියාකාරින් එක්ව දෛනික මූලික වැටුප රු. 1000 දක්වා වැඩිකරන ලෙස ‘1000 ව්‍යාපාරය‘ වශයෙන් අරගලයක් ආරම්භ කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස මේ දක්වා කම්කරුවන්ගේ ඉල්ලීම් සාකච්ඡාවලින් ඇද ඇද සිටි පාලක පක්ෂය අද හදිසි සාකච්ඡාවක් කැදවන ලද බව දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහස විය. ඒ අනුව, දිනයක මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට සහ රුපියල් 50ක දෛනික දීමනාවක් දීමට වතු හාම්පුතුන් එකග වී ඇත.

එපමණක් නොව, නව එකඟතා සහිත සාමූහික ගිවිසුමට කම්කරුවන්ගේ කැමැත්ත හෝ අකමැත්ත පවා නොතකා එය ජනවාරි 28 වැනිදා අස්සන් කරන්නටද වතු වෘත්තිය සමිති හාම්පුතුන් සමග එකග වී ඇත. මේ අතර සාමූහික ගිවිසුම අස්සන් කිරීම ප‍්‍රමාද වීම හේතුවෙන් කම්කරුවන්ට ගෙවීමට සිදුවන හිඟ වැටුප් පියවීම සඳහා රුපියල් මිලියන 150 ක් රජයෙන් ගෙවීමට කටයුතු කරන බව පොරොන්දු වන බව කම්කරු හා වෘත්තිය සමිති සබඳතා ඇමති රවින්ද්‍ර සමරවීර පවසයි.

අද දින කම්කරු අමාත්‍යංශයේ පැවති මෙම පාවාදීමේ සාකච්ඡාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, කම්කරු හා වෘත්තිය සමිති සබඳතා ඇමති රවින්ද්‍ර සමරවීර, රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් ඇතුළු වෘත්තිය සමිති නියෝජිතයෝ සහ වැවිලි සමාගම් නියෝජිතයෝ සහභාගි වූහ.

Chandana Sirimalwatte :