වතුකම්කරුවන්ට රු. 1000 දෛනික මූලික වැටුපක් ඇතුළු ඉල්ලීම් වෙනුවෙන් අද(25) දැනුවත්කිරීමේ යෙදී සිටි තැන්නේ ඥානානන්ද හිමි, ෂෙහාන් දිලීප, විමලසිරි හේවාවසම්, බුද්ධික ප්‍රභාත්, චින්තක රාජපක්ෂ යන අය අවිස්සාවේල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අද දින අවිස්සාවේල්ල සාලාව වතුයායේ කම්කරුවන් අතර පත‍්‍රිකාවක් බෙදාහැර ඔවුන් සමග වතු කම්කරු අරගලය සම්බන්ධ දැනුවත් කිරීමෙන් පසුව වතු අධිකාරිවරයෙක් පැමිණ එම කටයුත්තට බාධා පමුණුවා ඇත. කෙසේවෙතත් දැන්වත් කිරීම අවසන්කර නැවත යමින් සිටි පිරිස වෙත පැමිණි වතු අධිකාරිවරයා විසින් එම සමාජ ක‍්‍රියාකාරින් පිරිස අතර එක් අයකුට පහර දී ඇත. පසුව එම සිදුවීම පිළිබද පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට එම සමාජ ක‍්‍රියාකාරින් කටයුතු කර ඇත.
ඉන්පසු එම පැමිණිල්ල ඉදිරිපත් කළ පිරිස අත්අඩංගුවට ගන්නට අවිස්සාවේල්ල පොලිසිය විසින් කටයුතු කර තිබේ. පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීමට හේතු ලෙස දක්වා ඇත්තේ සාලාව වතුයායට අනවසරයෙන් ඇතුළු වීමය.
කෙසේවෙතත් නීතිඥවරු සහ සමාජ ක‍්‍රිියාකාරිකයන් විසින් පොලිසියට පැමිණ කළ විරෝධය දැක්වීම් හමුවේ අත්අඩංගුවට පත් සමාජ ක‍්‍රියාකාරින් ඇප මත මුදා හැරීමට පොලිසිය කටයුතු කර ඇත. ඔවුන්ට අදාළ නඩුව මාර්තු 28 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.